මැදවච්චියෙන් කොවිඩ් පොකුරු දෙකක් හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට මැදවච්චිය නගරයේ පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු හදුනාගෙන ඇති බවත් මේ ආසාදිතයින් කාණ්ඩ දෙකක් යටතේ පොකුරු ලෙස වාර්ථා වෙමින් පවතින බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

ඒ අනුව මැදවච්චිය පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරු ඇතුලු හත් දෙනෙකුටද , මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි අනුරාධපුරයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලයේ එකම පවුලේ පස් දෙනෙකුටත් අද (23) උදෑසන වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පැවසූහ.

පසුගිය (15 , 17 , 20, 21 සහ 22 ) වන දින ලැබුණු පී.සී.ආර් පරික්ෂණ වාර්ථා වලට අනුව මෙසේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මැදවච්චිය නගරයෙන් හමුවී ඇත.

ඊයේ (22) දහවල් වන විට මැදවච්චිය නගරයේ ආසාදිතයින් 09 දෙනෙකු හදුනාගෙන තිබූ අතර අද(23) උදෑසන වන විට ආසාදිතයින් 12 දක්වා ඉහල ගොස් ඇති බවත් මේ පිළිබඳ දැඩි අවධානයෙන් ජනතාව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ කියයි.

මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් මෙම පුද්ගලයින්ගේ පවුල් වල් සාමාජිකයින් සහ ආශ්‍රීතයින් ස්වයං නිරෝධායනය කටයුතු වල යොදවා ඇත.

ඉදිරි දින කිහිපය තුළ මැදවච්චිය නගරයේ අහඹු පී.සී.ආර් පරික්ෂණ මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *