ඩෙල්ටා පැතිරීම සොයන්න රට පුරා පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය භූගෝලීය වශයෙන් පැතිර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා රට පුරා ප්‍රදේශවල සැක සහිත පුද්ගලයන්ගෙන් ගත් සාම්පලයන්හි ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයන් පස්දෙනා හැර වෙනත් අයකුට මේ ප්‍රභේදය වැලඳී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) පැවසුවේය.

සෙසු කොවිඩ් ප්‍රභේදයන්ට වඩා දෙගුණයක වේගයකින් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ බවත් නමුත් ඩෙල්ටා ප්‍රභේදය පමණක් නොව වෙනත් ප්‍රභේදයන් පවා ඉතා ඉක්මණින් පැතිර යෑම සඳහා ජනතාවගේ ක්‍රියා කලාපය බලපාන බවත් ඒ මහතා කීය.

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පවතින සරල සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපැදීම නොකළොත් දැනට වාර්තා වී ඇති ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මණින් රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඩෙල්ටා ප්‍රභේදය පමණක් නොව වෙනත් කිසිදු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වීම සිදු වුවත් මේ අවස්ථාවේදී කළ යුත්තේ රට වැසීම නොව වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට කටයුතු කිරීම බවද ඒ මහතා කීය.

පැවති සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ මේ සති දෙක තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ජූලි 5දා දක්වා වලංගු වන මේ චක්‍රලේඛය අවශ්‍ය වුවහොත් ඉදිරියේදී සංශෝධනය කිරීමක් කරනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *