විදුහලක අනවසර වැඩමුළුවක් පැවැත්වූ 04ක් අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) –හාලිඇල පොලිස් වසමේ විද්‍යාලයක අනවසර වැඩමුළුවක් පැවැත්වූ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම විද්‍යාලයේ දරු දැරියන්ට ඊයේ(01) මනෝ විද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බවත් ඒ සදහා පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇදුමින් සැරසුනු පුද්ගලික ආරක්ෂකයන් පිරිසක් සමග ගිනි අවියක්ද රැගෙන පැමිණ ඇති බවටත් හාලි ඇල පොලීසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් එම විදුහලට ගොස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැත.

එසේම වැඩසටහන මෙහෙය වූ උපදේශකයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සදහා සුදුසුකම් ලද්දෙකු නොවන බව විමර්ශනවලදී හෙළිව ඇත. ඔහු සමග පැමිණි ආරක්ෂකයන් තුන්දෙනා සතුව තිබියදී ගමන්කථන 03 ක්, වායු රයිෆලයක් සහ ඒ සදහා භාවිත කරන පතොරොම් 129 ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත, රත්මලාන සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

පාසල් සිසුන් පිළිබද කටයුතු කිරීමේදී මෙවැනි නොදන්නා අය මෙන්ම පාසලට නොගැළපෙන ආකාරයේ පුද්ගලයින් පාසල් තුළට කැදවා ගැනීමෙන් වළකින ලෙස අදාළ නිලධාරීන්ගෙන් පොලීසිය ඉල්ලා සිටි.

අදාළ සැකකරුවන් අද(02) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *