2022 වසරේදී වාහන ගෙන්වන්නේ නෑ – මුදල් ඇමති

(ලංකාපුවත් | කොළඹ) – එළැඹෙන 2022 වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට බඳවා නොගැනීමටත් තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (09) සංවිධාන කළ වැඩමුළුවකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් යනුවෙන් මෙම වැඩමුළුව පැවැති අතර එහිදී ඇමැතිවරයා පැවසුවේ මෙවර අය-වැය සම්මතවීමෙන් පසු අලුත් වෙනසක් රට තුළ ක්‍රියාත්මක කරන බවයි.

අය-වැයෙන් සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කර ඇති මුදල් නිසි ලෙස වැය කර එම කටයුතු නිම කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නැති බවත් හෙතෙම කීවේය. ඒ අනුව අලුතින් වාහන, කාර්ය මණ්ඩල ගැනීම සඳහා අනුමැතිය ලබා දිය නොහැකි බවත් කීවේය.

විදේශ විනිමය හිඟයකට රට මුහුණ පා තිබෙන බව පැවසූ ඇමැතිවරයා, දැනට පවතින සංචිත අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, ඉන්ධන ආදිය ගෙන ඒමට සහ විදේශ ණය ගෙවීමට වැය කරන්නට සිදු වූ බව ද කීවේය.

පසුගිය කාලයේ වසරකට ශ්‍රමිකයන් 230,000ක් විදෙස් රැකියා සඳහා පිටත් ව ගියත් ගිය වසරේදී එය 53,000 දක්වා අඩු වී තිබූ බවත් ලබන වසරේ දී එම සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබෙන බවත් හෙතෙම කීවේය.

රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය සඳහා මේ වසරේ විශාල මුදලක් වෙන්කර තිබෙන අතර පිටරටින් කිරිපිටි ගෙන්වීම නවතා දියර කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට අරමුණු කර තිබෙන බවත් ඒ මහතා කීවේය.

මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි ද වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *