(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ පසුබෑම්වලින් මිදී යථා තත්ත්වයට පත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව සතුව ස්වභාවික සම්පත් බහුලව පවතින අතර පරිසරය සංරක්ෂණය කිරීමෙන් සංචාරක කර්මාන්තය නඟාසිටුවිය හැකි බවද, රටේ ආර්ථික වර්ධනයට එමඟින් සහාය ගත හැකි බවද එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යංශයේ අධ්යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ඇය විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම අමාත්‍යාංශයේ දී හමු වී මේ බව සදහන් කළාය. මෙරට තුළ පවත්නා ප්‍රමුඛතා වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට සහාය දිය හැකි නව මාර්ග පිළිබඳ ගවේෂණය කිරීම මහ ලේකම් විග්නරාජා මහත්මියගේ සංචාරයේ අරමුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හටගත් සමාජ-ආර්ථික බලපෑම් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ පියවර ඉස්මතු කළ විදේශ ඇමැතිවරයා තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) උදෙසා ශ්‍රී ලංකාව මෑත කාලීනව ලැබූ ජයග්‍රහණ පිළිබඳ සහකාර මහලේකම්වරිය දැනුම්වත් කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක පහක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ඉටු කළ සංවර්ධනය අශ්‍රිත ක්‍රියාකාරකම් අගය කළ විදේශ ඇමැතිවරයා තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් තව දුරටත් ප්‍රගතියක් අත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම බහුවිධ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව අවධාරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළ යෝජිත සංශෝධන ඇතුළුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුකෙරෙන දේශීය ක්‍රියාවලීන්හි මෑතකාලීන ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විදේශ ඇමැතිවරයා ස්ථිර ප්‍රගතියක් ළඟාකර ගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම පෙන්වා දුන්නේය. ගතවූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව නිරීක්ෂණය කළ සහකාර මහලේකම්වරිය කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑම්වලින් මිදී යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළාය. ශ්‍රී ලංකාව සතුව ස්වභාවික සම්පත් බහුලව පවතින බව සඳහන් කළ සහකාර මහ ලේකම්තුමිය පරිසරය සංරක්ෂණය කිරීම මඟින් සංචාරක කර්මාන්තය නඟාසිටුවිය හැකි බවත් රටේ ආර්ථික වර්ධනයට එමඟින් සහාය ලබා ගතහැකි බවත් ප්‍රකාශ කළාය. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැමැත්තෙන් පසුවන බවද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත මාලින් හර්විග් මහත්වරු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් නිලධාරීහු මහ ලේකම් විග්නරාජා මහත්මිය සමඟ මෙම අවස්ථාවට එක්වූහ. විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුවට සහභාගි වූහ.