ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට සම්බන්ධ 89 දෙනෙකුට අධි චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ සියල්කොට් නුවර කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධ 89 දෙනෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්ධන අධිකරණය අධි චෝදනා ගොනු කර තිබේ.

පාකිස්ථානයේ ගුජරන්වාලා හි විශේෂ ත්‍රස්ත මර්ධන අධිකරණයේ විනිසුරු නාටාෂා නාසීම් පසුගියදා මෙම නඩුව විභාගයට ගැනීම සිදු කෙරුණි.

මෙම නඩුවේ චූදිතයන් වන වැඩිහිටි සහ බාලවයස්කරුවන්ට එරෙහිව පැමිණිල්ල වෙන වෙනම විභාගයට ගැණුනි. මෙම නඩුවේ සාක්ෂිකරුවන් 14දෙනෙකු නැවතත් මාර්තු 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

සියල්කොට් හි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර පසුගිය දෙසැම්බර් 3 වන දින ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායමක් විසින් ඝාතනය කෙරුණි.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට පන්ජාබ් පොලිසීය කටයුතු කෙරුණු අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික අධික්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණි. සියල්කෝට් ව්‍යාපාරිකයින්, පාකිස්ථාන රජය හා ශ්‍රී ලංකා රජයෙන් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ බිරිඳට හා දරුවන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *