දක්ෂිණ අධිවේගයේ මුදල් ගෙවීමට QR යෙදුම භාවිතය ඇරඹේ

(ලංකාපුවත් | කොළඹ) – අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම ( Manual Toll Collection MTC) වෙනුවට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම භාවිතා කළ හැකිය. මෙහිදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් Frimi හරහා ශ්‍රී ලංකා මහ බැංකුව , Lanka QR සහ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කෙරේ. දැනට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනේ .

Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකිය. එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය ( Scan ) කිරීම පමණි.

මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම , මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම , සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම , අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදි ප්‍රතිලාභ ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *