සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන

(ලංකාපුවත් | කොළඹ) – සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි සීෂෙල්ස් ප්‍රවෘත්ති නියෝජිත ආයතනය වාර්තා කරයි.

සීෂෙල්ස්හි ලා ඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන සිදු කෙරේ. අදාළ පුද්ගලයා දින කිහිපයක සිට සේවාස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් සමාගමේ නිලධාරියෙකු එම පුද්ගලයා නැවතී සිටි නිවසට ගොස් පරීක්ෂා කර තිබේ.

එම අවස්ථාවේදී ඔහු සිය කාමරය තුළ වැටී සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බවට අනාවරණය වී තිබුණි. වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට සීෂෙල්ස් පොලිසිය පසුගිය බදාදා ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවනතුරු කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව එරට පොලිසිය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *