මාස්ක් නොදැම්මොත් තවත් රැල්ලක් අත ළඟ

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් 19 වයිසරයේ විවිධ ප්‍රභේද බිහි වෙමින් ලොව පුරා තවත් රැල්ලක පෙර නිමිති පහළ වෙමින් තිබෙන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ද තවමත් කොවිඩ් අවදානමෙන් මිදී නැති හෙයින් මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම ගත හැකි වන්නේ ඒ සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන් පමණක් බව ද පවතින නිදහස සෞඛ්‍ය පුරුදු සමඟ භුක්ති විඳින්නට ජනතාව සිහි තබා ගත යුතු බව ද හෙතෙම කීවේය.

මුව ආවරණ නිසි ලෙස නොපැලඳීම, දුරස්ථභාවය තබා නොගැනීම, දෑත් පිරිසුදු කර නොගැනීම යනාදි කාරණා නිසා වැඩි වශයෙන් කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් මේ නිසා අද බොහෝ රටවල කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් පැවසුවේය.

ඔමික්‍රොන් වයිරසයේ ව්‍යාප්තියත් සමඟ යුරෝපා රටවලින් දෛනිකව ලක්ෂයක පමණ රෝගීන් වාර්තා වන්නේ යැයි ද අසල්වැසි ඉන්දියාවෙන් පවා දෛනිකව කොවිඩ් ආසාදිතයන් ලක්ෂයක් පමණ වාර්තා වන්නේ යැයි ද හෙතෙම පැවසීය.

මෙරටින් ද දිනපතා කොවිඩ් ආසාදිතයන් 500ක් 600ක් පමණ වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් තුළදී වයිරසය සම්බන්ධයෙන් බරපතළව සිතා කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමට පුද්ගලයන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

කොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති එන්නත්වල කාලය අවසන් වන විටදී පුද්ගලයන්ගේ සිරුර තුළ පවතින ප්‍රතිශක්තිකරණය පහළ මට්ටමකට යන බවත් නැවත හොඳ ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගැනීමට නම් කොවිඩ් තුන්වැනි මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ගැනීමට පුද්ගලයන් යොමු විය යුතු බවත් ඒ මහතා පැවසුවේය.

මෙතෙක් තුන්වැනි මාත්‍රාව‌ නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත් මාත්‍රාව ගැනීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *