විදුලි බල සැපයුම පාලනය කිරීමට කටයුතු කළ යුතුයි

(ලංකාපුවත් | කොළඹ) – මාස එක හමාරකින් පමණ තෙල් ගෙන ඒමට විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙන බැවින් විදුලි බල සැපයුම පාලනය කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතු බව බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

දැන් සිටම විදුලිය කපා හැරීමක් සිදු කළහොත් වැසි උදාවන තුරුම විදුලිය කපා හැරීමට සිදු වෙන්නේ දවසට පැය එකහමාරක් පමණක් බවත් පැය තුනක් වැනි කාලයක් විදුලිය අහිමි වීමකට වඩා ජනතාවට එය ඔරොත්තු දිය හැකි බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (19) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය .

“ තෙල් සංස්ථාව තෙල් නොදෙන නිසා විදුලි බල මණ්ඩලයට විදුලිය කපන්න සිදු වෙනවා කියලා විදුලි බල මණ්ඩලය චෝදනා කළත් ඇත්තටම වෙලා තිබුණේ පසුගිය දෙසැම්බර් වන තුරුම 60%කට වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් නිශ්පාදනය කළ විදුලිය නිශ්පාදනය 38% දක්වා පහත වැටීමෙන් ඇති වූ අර්බූදයයි. ජනවාරි මාසයේ 13 වෙනිදා සිට තෙල් ලබා දෙන්න කියලා ඔවුන් අපෙන් තෙල් ඉල්ලීමක් කළේ ජනවාරි මාසයේ 11 වෙනිදා.

ඊට පෙර ඔවුන් දැනුම් දී තිබුණේ ජනවාරි මාසය අගවන තුරු ඔවුන්ට තෙල් අවශ්‍ය වෙන්නේ නැති බවයි. ඒ අනුව අපි ළඟ තොග තිබුණෙත් නෑ. තෙල් තොග තියා ගන්න තරමට මේ දිනවල තොගවල හිර කරන්න තරම් විදේශ විනිමය අපි ළඟ නෑ.

ඇත්තෙන්ම අපි තෙල් දෙන්නේ නෑ නෙවෙයි. දෙන්න තෙල් නෑ. ජනවාරි 13 වෙනිදා සිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දෙන්න කියලා තමයි විදුලි බල මණ්ඩලයෙන් අපිට කිව්වේ. ඉල්ලපු ගමන් සපයන්න අපි ළඟ ඩීසල් ළිඳක් ඇත්තෙත් නෑ. දැවැන්ත ඩීසල් තොග ඇත්තෙත් නෑ. ආනයනය කරන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තෙත් නෑ.

ප්‍රවාහනයට තිබෙන ඩීසල් තොග විදුලි නිශ්පාදනයට දුන්නොත් ප්‍රවාහනය ඇණ හිටලා මුළු රටම අකර්මණ්‍ය වෙනවා. පැය කීපයකට විදුලිය කැපීමට වඩා ඒ තත්ත්වය භයානකයි. විදුලි බල මණ්ඩලයට පුළුවන් විදුලි බල සැපයුම පාලනය කරන්න. ඒත් ප්‍රවාහනයේදී ඉන්ධන පිරවුම්හල්වල තෙල් ඇත හෝ නැත මිස අතරමැදි තත්ත්වයක් නෑ. ප්‍රවාහනයට ඉන්ධන සැපයීම විදුලි නිශ්පාදනයට ඉන්ධන සැපයීමට වඩා අභියෝගාත්මක නිසා ප්‍රවාහනයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ප්‍රවාහනයට තිබෙන සීමිත තොග ලබා දෙන්න හැකියාවක් නෑ කියන කාරණය විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නා.
ඩොලර් හිඟය නිසා මූද මැද දවස් 9ක් තිබුණ ඉන්ධන තොගයකට මුදල් ගෙවන්නට අපිට පුළුවන් වුණා. අවශ්‍ය ඩොලර් සොයා ගන්න විදුලි බල අමාත්‍යතුමාත් දැවැන්ත උත්සාහයක් ගනිමින් සහය වුණා. ඒ නැවෙන් බාන ටොන් 37,500 ක ඩීසල් තොගයෙන් ටොන් 10,000 ක් විදුලි නිශ්පාදනයට ලබා දෙන්න කියලා මම තෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ ප්‍රමාණය දවස් 08කට විදුලිය නිශ්පාදනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් වෙනවා. ඊට අමරතව අපි දවසකට දැවි තෙල් ටොන් 2200 බැගින් ලබා දෙනවා. ඒ වගේම අපි අත්සන් කර තිබෙන ගිවිසුමකට අනුව දවසකට ඩීසල් ටොන් 700 බැගින් ෆුජිට්සි කියන පෞද්ගලික විදුලි බලාගාරයට විදුලි නිශ්පාදනය සඳහා ලබා දෙනවා.

දැන් පැය 24ම විදුලිය ලබා දීලා අපි සීමිත විදේශ විනිමය අවසන් කර ගත්තොත් , තව මාස එක හමාරකින් විතර තෙල් ගේන්න විදේශ විනිමය හොයා ගන්න බැරි වුණොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙනවා. දැන් සිටම දවසකට විනාඩි 90 බැගින් දවසකට විදුලිය කපා හැරීමක් සිදු කළොත් වැසි උදාවන තුරුම දවසට පැය එකහමාරක් පමණක් විදුලිය කපා හැරීමක් සිදු වෙන්නේ. දිනකකට විනාඩි 90ක් කියන්නේ ජනතාවට අපහසුවෙන් වුවත් ඔරොත්තු දිය හැකි තත්ත්වයක් එක්වරම පැය තුනක වගේ විදුලිය අහිමි වීමකට වඩා.

තෙල් ගැන පච කියන පුද්ගලයා මෑතකදී කියලා තිබුණා තෙල් හිඟයක් ඇති වීමේ අවධානම තිබෙන්නේ ඇමතිවරයා නිසි කලට ඉන්ධන ආනයනය නොකළ නිසා කියලා. ඇමතිවරයා තෙල් ආනයනය කරන්නේ නෑ. එය කරන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථාව නිසි කලට ඇනවුම් කරලා, නැව් ලෑස්ති කර ගෙන ඉන්ධන ගෙනෙන නිසා තමයි අපේ රටට වෙලාවට නැව් ටික ඇවිල්ලා තියෙන්නේ. ඔහුම කියනවා ඩොලර් නැති නිසා නැව් දවස් ගානක් රඳව ගෙන ඉන්නවා කියලා. නිසි කලට ඇනවුම් කළේ නැත්නම් නැව් කොහොමද වරායට එන්නේ. තෙල් සංස්ථාව ණයවර ලිපි විවෘත කරන්නේ නැතුව මුදල් ගෙවන්නේ නැතුව, විශ්වාසය මත පදනම් කර ගෙන තෙල් තොග වරාය දක්වා ගෙන එන තැනටම තෙල් සංස්ථාව කටයුතු කළා. ඉන් එහාට කටයුතු කිරීම විදේශ විනිමය සපයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

අපිට මාසිකව ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 400ක් වැය වෙනවා. විදුලි නිශ්පාදනයටත් දැන් ඉල්ලන ඩීසල් සහ දැවි තෙල් ලබා දෙන්න ගියාම එය ඩොලර් මිලියන 500ක් බවට පත්වෙනවා. අපේ රටේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000යි. එයිනුත් රටතුළට ගලා එන්නේ ඩොලර් මිලියන 700- 800 විතර. අපනයන ආදායමෙන් රටතුළට එන ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ඉන්ධන සඳහා ලබා දීමට සිදු වුණාම බැංකු පද්ධතියට දැවැන්ත අභියෝගයක්.

ඊයේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 87ක මිලක් වාර්තා වුණා. යුරෝපයේ සීත සෘතුව නිසා පෙබරවාරි මාසය වන විට තෙල් බැරලය ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බවට ඒ පිළිබඳ විශේෂඥයන් අනාවැකි පළ කර තිබෙනවා. ප්‍රබල රටවලත් ඉන්ධන හිඟයන් ඇති වුණත් මාස 7ක් පුරා විපක්ෂය ඉන්ධන හිඟයන් ඇතිවන බවට අනාවැකි පළ කළාට අපිට මේ දක්වාම මහා දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න හැකි වී තිබෙනවා.

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා විසින් අපේ විදේශ අමාත්‍යවරයාට ඩොලර් මිලයන 500ක ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකමක් පිරිණමමින් එවන ලද ලිපියේ පිටපතක් මටත් යොමු කර තිබුණා. එය ඉතා ආකර්ෂණීය පොළී අනුපාතයක් යටතේ තමයි ඉදිරිපත් කර තියෙන්නේ. 2%ක ප්‍රතිශතයක වගේ තමයි පොළී අය කරන්නේ. මේ ඩොලර් මිලියන 500 ගෙවන්න අපිට වසරක කාලයක් දෙනවා. එය ගෙව්වට පස්සේ නැවත නැවතත් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් දැනට අපිට ලැබී තිබෙන්නේ පිරිණැමීමේ ලිපිය පමණයි. ඉන්පසු ගිවිසුම් පිටපත ලැබෙන්න ඕන. එය නීතිපතිවරයා විසින් නිශ්කාෂණය කළාට පසුව අපේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් ඉන්දියාවේ එක්සීන් බැංකුවත් අතර ගිවිසුමක් අත්සන් තැබෙනවා. ඊට පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා අපිට අවශ්‍ය ඉන්ධන තොග මිල දී ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා මහතා සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *