කොතලාවල විශ්ව විද්‍යාලයට අපරාධ විද්‍යාව පිළිබඳ පීඨයක්

(ලංකාපුවත් | කොළඹ) – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් උත්සවාකාරයෙන් ඊයේ(19) රත්මලානේදී විවෘත කරන ලද අතර විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදියර විවෘත කිරීම ද එහිදී සිදු විය.

අලුතින් පිහිටුවන ලද පීඨය කොතලාවල ආරක්ෂකවිශ්වවිද්‍යාලයේ 11 වන පීඨය වන අතර මෙම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ අයතනයක් බවට පත්වෙමින් තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න මහතා පැවසුවේ මෙවැනි පීඨයක් පිහිටුවීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් 2020 ඔක්‌තෝබර් 19 වැනි දින පැවැති ආරක්‍ෂක කවුන්සිලයේදී මුලින්ම සඳහන් කළ බවත්, එහිදී ඔහු ජාතියට ඵලදායී ලෙස සේවයකිරීම සඳහා නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය හාවෘත්තීය සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තීය පොලිස් සේවයක් නිර්මාණය කිරීමේ වටිනාකම අවධාරණය කළ බවත්ය. අනතුරුව, අවශ්‍ය අධ්‍යයන වාතාවරණය නිර්මාණය කිරීමේ වගකීම කොතලාවල විශ්වවිද්‍යාලය වෙත පැවරුණු අතරඑහි කළමනාකරණ මණ්ඩලය 2021 මැයි 21 වන දින යෝජිත අපරාධ විද්‍යා පීඨය පිහිටුවීමට අනුමැතිය දුන් බව ගුණරත්න මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

පාසල් අධ්‍යාපනය නිම කරන්නන් සහවෘත්තිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන බැවින් නව පීඨය කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් එමෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල මෑත කාලීනව වර්ධනයන් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ නියැලී සිටින පුද්ගලයින්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය තීව්‍ර වී ඇති බවත් ඔහුගේ අදහස විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින්ගන්නා ලද මෙම විශිෂ්ට පියවරේ ප්‍රතිඵලයක් ලෙස අපරාධ යුක්ති ක්‍ෂේත්‍රයේහොඳින් හඳුනන වෘත්තිකයන්ගේ ප්‍රජාවක් අප මාතෘභූමියට සපයමින් නීතියක්‍රියාත්මක කිරීමට සහ ඒ ආශ්‍රිත පද්ධතිවලට ඉමහත් දායකත්වයක් සපයනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
උත්සවය අතරතුර නව පීඨයේ වෙබ් අඩවිය විවෘත කිරීම ද ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු විය.

රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයට කෘතගුණදැක්වීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් උත්සවය ආරම්භ වූ අතරඅපරාධ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජීවා නිරිඇල්ල මහත්මිය පිළිගැනීමේ කතාව කළේය.

මෙම උත්සවයේදී උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *