ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති තැබූ ෆේස්බුක් සටහන

(කොළඹ, ලංකාපුවත්) – ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් මහත්මියගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට ම පිරවිය නො හැකි තරම් හිස්තැනක් බවත් එතුමියගේ අභාවයෙන් ශෝකප්‍රාප්ත පවුලේ ඥාතීන්ටත්, ඉන්දීය ජනතාවටත් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කර ඇත.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ,

දශක හතකට අධික කාලයක් පුරා දෙස් විදෙස් සුවහසක් රසික හදවත් තම ළයාන්විත හඬින් මුසපත් කරමින් ගී ගැයූ ජනප්‍රිය ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් මැතිනියගේ අභාවය සැලවීමෙන් මම ඉමහත් සංවේගයට පත් වීමි.

භාරතයේ ගීත කෝකිලාවිය ලෙස රසික හදවත්හි ලැගුම් ගනිමින් භාරතීය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ලතා මංගේෂ්කාර් ශිල්පිනිය සැඬ සුළං චිත්‍රපටයේ එන “ශ්‍රී ලංකා.. මා ප්‍රියාදර ජය භූමී..” ගීතයට සිංහල බසින් තම හඬ ලබා දී තිබීම ද ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රය ලත් අනර්ඝතම දායාදයක් බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි.

එතුමියගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට ම පිරවිය නො හැකි තරම් හිස්තැනක් බව ද ප්‍රකාශ කරන අතර ම එතුමියගේ අභාවයෙන් ශෝකප්‍රාප්ත පවුලේ ඥාතීන්ටත්, ඉන්දීය ජනතාවටත්, ඇගේ සියලු රසික ප්‍රජාවටත් මාගේ සාතිශය සංවේගය මෙසේ ප්‍රකාශ කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *