ඉ – ස්වාභිමානී සම්මානලාභින් දෙදෙනෙකුට අන්තර්ජාතික World Summit Awards සම්මාන

(කොළඹ, ලංකාපුවත්) –ඉ – ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් දේශීය සම්මාන ලාභීන් දෙදෙනක් , මෙවර 2021 World Summit Awards අන්තර් ජාතික සම්මානයට ලක්ව ඇතිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා "ඉ -ස්වාභිමානී ’ සම්මාන ලත් නවනිපැයුම් අටක් මෙවර ඉදිරිපත් වූ අතර, ඉන් ‘කතුරුවරයා ’ නව ඩිජිටල් නිපයුම ‘සංස්කෘතිය සහ සංචාරක’ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත්ව තිබේ . මෙම අංශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙයයි. ‘තරුණ නවෝත්පාදකයින්’ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස ‘කොකෝ රෙමීඩි’ මෙම ජාත්‍යන්තර උළෙලේ දෙවන සම්මානය ලබාගනියි.

‘World Summit Awards’ යනු සමාජය ප්‍රවර්ධනය සඳහා දේශීය ඩිජිටල් නවෝත්පාදනයන් තෝරාගෙන ඔවුන්ට ඉදිරියට යාමට ගොඩනගා ඇති සුවිශේෂී අන්තර්ජාතික වේදිකාවකි. ආරම්භකයින්, සමාජ ව්‍යවසායකයින්, උපදේශකයින්, ජූරි සභිකයන්, කථිකයන්, විශේෂඥයින්, රාජ්‍ය නායකයින්, පර්යේෂකයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානයවූ මෙය සිවිල් සමාජයේ ගෝලීය ජාලයකි. එමගින් තොරතුරු සන්නිවේදන තාක්ෂනය සමාජ අභිවෘද්ධිය සදහා ධනාත්මකව සිදුකරන ජාත්‍යන්තර සිදුවීම් සහ ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධව, කටයුතුකරන වසර 17කට වැඩි ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති සංවිධානයක් ලෙස ද හදින් වේ. ඊට රටවල් 182කට අධික සංඛ්‍යාවක සමාජීය සහභාගිත්වයක් ඇත. එමෙන්ම බලපෑමක් ඇති ඩිජිටල් අන්තර්ගතයන් සඳහා වූ අන්තර්ජාතික සන්නාමයක් වන අතර, දිනපතා වර්ධනයවන වන මතවාද , නවෝත්පාදකයින්, ව්‍යවසායකයින්, රජයේ සහ ව්‍යාපාරික නියෝජිතයින් සහ තරුණ ආරම්භකයින් සමඟ කටයුතු කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් තුල සහ ඉහළ තරඟකාරී සම්මාන පද්ධතියක් හරහා වසරකට ජයග්‍රාහකයින් 45 දෙනෙකුපමණ මෙමගින් තෝරාගනියි.

‘කතුවරයා ’ යනු ශ්‍රී ලංකාවේ නව්‍ය ඩිජිටල් වේදිකාවක් වන අතර එය පරිශීලකයින්ගේ කියවීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. එමගින් ආධුනික සහ වෘත්තීය කතුවරුන්ට උපකාර කිරීම සඳහා කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල භාෂා නවකතා සහ කෙටිකථා එකතුවක් ලෙස පහසුවෙන් අවශ්‍ය තෝරා ගෙන කියවීමේ නිදහස ලබා දී ඇති ’ ජංගම යෙදුමකි. 50,000 කට අධික Android යෙදුම් භාවිතා කරන්නන්, 200 කට වැඩි කතුවරුන්,සහ දිනපතා වර්ධනය වන සිංහල භාෂා පාඨකයින් සහ ලේඛකයින් ප්‍රජාවක් ‘කතුවරය’ සමග එක්වසිටිති. මෙය I OS, Android සහ Web වෙතින් ලබා ගත හැකිය. මිට එකතුවන සෑම නව නිර්මාණයක්ම පරිශීලකයින්ට ක්ෂණිකව දැනුම් දෙනු ඇත. පරිශීලකයින්ට යෙදුම හරහා කථා සෙවීමට, තෝරාගැනීමට , පිටු සලකුණු කිරීමට සහ ප්‍රතිචාර ලබා දීමට හැකිය. කතුවරුන්ට මෙන්ම පරිශීලකයින්ට ඔවුන්ගේ නිර්මාණාත්මක අදහස් බෙදා ගැනීමට ‘කතුවරයා ’ ප්‍රජා විශේෂාංගය භාවිතා කළ හැකිය. ‘කතුවරයා ’ ආධුනික කතුවරුන්ට කෙටි කාලයක් තුළ සැලකිය යුතු සහ ආකර්ෂණීය රසික පිරිසක් ගොඩනගා ගැනීමට උපකාර කරයි.

Coco Remedy යනු පොල් රෝග සහ පළිබෝධ ආක්‍රමණයන් පිළිබඳ නිරීක්ෂණ සහ හඳුනා ගැනීමට සහායවන ශ්‍රී ලංකාවේ සංවර්ධනය කරන ලද පළමු ජංගම සහ වෙබ් පාදක යෙදුමයි. මෙම වැඩසටහන සඳහා වූ පර්යේෂණ ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය (CRISL) සමඟ එක්ව සිදුකර ඇත. පොල් වගාව විනාශ කරන වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය (WCLWD) සහ පොල් දළඹු උවදුර (CCI) කළමනාකරණය කිරීමට Coco Remedy ජංගම සහ වෙබ් පාදක මෘදුකාංග භාවිතා කරනු ලබයි. මැග්නීසියම් ඌනතාවය නිසා ඇතිවන කොළ කහ වීම රෝගය ඇති කොළ නිවැරදිව වෙන්කර හඳුනා ගැනීම,වියලිකොල සහ රෝගිකොල වෙන්ව හදුනාගැනීමේ දුෂ්කර තාවය ජයගැනීමට මෙමගින් හැකියාව ලැබේ .ඒ සදහා රෝග ලක්‍ෂණ සහිත පොල් කොලයක ඡායාරූපයක් ලබා ගැනීමෙන් රෝගය නිවැරදිව හඳුනා ගැනීමට හැකි වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යෙහි (ICTA ) සභාපති ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කළේ, “අපගේ දේශීය නවෝත්පාදකයින් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසිද්ධියට පත්වීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙමු. එමෙන්ම ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති සැඟවුණු දක්ෂතා හදුනාගැනීමට ජාත්‍යන්තරයට මෙමගින් හැකියාව ලැබේ. අපගේ දේශීය ආරම්භක තාක්ෂණික ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට සහ ඔවුන්ට සහායවීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය( ICTA) නිරතුරුවකටයුතු කරමින්සිටියි. 2024 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් ලබන රටක් බවට පත්වීමට සහ ශ්‍රී ලංකාව ආරම්භක සහ තාක්ෂණික නවෝත්පාදන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට ආරම්භකයින් Startup ප්‍රධාන ගාමක බලවේගයක් වනු ඇත.මෙම අන්තර්ජාතික සම්මාන ලැබීම හා ජාතිය අභිමානයට පත්කල ‘Coco Remedy’ සහ ‘Kathuwaraya’ යන නිර්මාණ දෙකට තම ආයතනයේ සුබ පැතුම් පිරිනමන බවද ඔහු ප්‍රකාශ කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *