රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සියලු රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටු වනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

රාජ්‍ය සේවය ඉතා විශාල බැවින් ජනතාවගේ සෑම අවශ්‍යතාවකටම රාජ්‍ය සේවකයකුගේ මැදිහත්වීම සිදු වේ. මේ නිසා ජනතා සේවය නිසි අයුරින් ඉටු විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මඟින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ගැනීම බව ජනාධිපතිවරයා කීවේය.

ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

අප ඉන්නේ ජනතාව ජීවත් කර වීමට හෙයින් ඊට පරිසරය සැකසිය යුතු බවත් එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය.

සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

හරිත කෘෂිකර්මාන්තය ආණ්ඩුවේ ප්‍රධාන වැඩපිළිවෙළක්. සියයට 75කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් සියයට 90ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත ජීවිකාවක නිරත වෙනවා. කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන්. ඒ බව ඔවුන් දැනුම්වත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැඟිය යුතුයි.

නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැඩි වන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන ආණ්ඩුවේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියේය.

දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මඟින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *