කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ ජාවාරම්කරු දැලේ

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාව ඇතුළු තවත් රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් එකතු කරමින් විදේශ රැකියා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා(02) පානදුර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකු පානදුර නගරයේ මුදල් එකතු කරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලැබුණු අතර, මෙම පැමිණිලිකරුට ගිවිසුම් අත්සන් කිරීම සඳහා නීතිඥයෙකු සමග පැමිණෙන ලෙස ජාවාරම්කරු දැනුම් දී ඇත. ඒ අනුව විශේෂ විමර්ශන අංශයේ නිළධාරීයෙකු නීතිඥයෙකු ලෙස පෙනී සිටිමින් පැමිණිලිකරු සමග ජාවාරම්කරු හමුවී ගිවිසුම් අත්සන් කර ලක්ෂ 5ක මුදලක් ලබාගැනීමට සූදානම් වන මොහොතේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මොහු අත්අඩංගුවට ගත් දිනට පසු දින මොහුට විරුද්ධව පැමිණිලි 15ක් කාර්යාංශයට ලැබී ඇති අතර, තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතී. ලැබී ඇති පැමිණිලි අනුව මොහු තරුණ තරුණියන්ගෙන් ලක්ෂ 50ට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව හෙළි විය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ හා කාර්යාංශයේ සභාපති මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් අනුව නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි නෙලුම් සමරසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, යන මහත්වරුන් මෙම වැටලීම සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *