බර්ටිගේ අවසන්කටයුතු අද – අගමැතිගෙන් ශෝක පණිවුඩය

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙනු ඇත.

ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ලාංකේය රසික ආකර්ශනය දිනාගත් බර්ටි ගුණතිලක මහතා ඊයේ(06) අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාපක්‍ෂ මහතා ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.

එම ශෝක පණිවුඩය පහත දැක්වේ,

හාස්‍ය කලාවේ පෙරළිකාර චරිතයක් වූ ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි.

මහනුවර අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී පාසල් වේදිකාවේ පුංචි අන්දරේගේ චරිතයට පණපොවමින් බර්ටි මැස්ටියගේ සංඝතිස්ස ගුණතිලක මහතා එදා ප්‍රහසන රංගන කලාවට පිවිසෙන්නේ කිසිවෙකුත් නොසිතූ දිගු ගමණකට මුල පුරමිනි.

කුඩා කල දඟකාර චරිතයක් වූ නිසාම වතු පාලකයෙක් වූ සිය පියා කුඩා බර්ටිව මහනුවර සංඝරාජපිරිවෙනේ පරිවෙනාධිපති මාබෝපිටියේ මේධංකාර හිමියන්ට භාර කරන්නේ සසුන්ගත කරන්නටය. සංඝරාජ පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලබන බර්ටි සංඝතිස්ස ගුණතිලක මහතා ප්‍රාචීණ විභාගය සමත්ව කොළඹ ආයුර්වේද විද්‍යාලයට ඇතුළත්වන්නේ ඒ කෙරෙහි දැක්වූ විශේෂ ඇල්ම හේතුවෙනි.

ආයුර්වේද වෛද්‍යවරයෙක් හා කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස කෙටි කලක් සේවය කළ බර්ටි සංඝතිස්ස ගුණතිලක මහතා එම වෘත්තීන් අතහැර කලක් මැණික් ගැරීම පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළේය.

බර්ටි සංඝතිස්ස ගුණතිලක මහතා “සිංහල බෞද්ධයා”, “සිංහලේ’’, “සිංහල ජාතිය” පත්‍රවල සෝදුපත් බලන්නකු ලෙස කලක් සේවය කළේය. ඒ කාලය තුළ ඔහු පුවත්පත්වලට ලිපි, විකටකතා සම්පාදනය කරමින් ලේඛනයටද පිවිසියේය.

ලේක් හවුස් ආයතනයේ සෝදුපත් බලන්නෙක් ලෙස වසර 15ක් පමණ සේවය කළ බර්ටි සංඝතිස් ගුණතිලක මහතා ඊට සමුදෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩවර්ජනයක නිරතවෙමිනි.

ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස බර්ටි ගුණතිලක මහතා රට සුපතල චරිතයක් බවට පත්වන්නේ ගුවන් විදුලියෙනි.

“ළමා පිටිය”ට වැඩසටහන් නිෂ්පාදනයෙන් දායක වූ බර්ටි ගුණතිලක මහතා එකල රේඩියෝ සිලොන් ලෙස හැදින් වූ ගුවන් විදුලියට එක්වන්නේ 1947 වසරේදීය.

බර්ටි සංඝතිස්ස ගුණතිලක නම් වූ මේ මහා ප්‍රහසන රංගන ශිල්පියා බර්ටි ගුණතිලක නමින් ජනතාව අතර අතිශය ජනාදරයට පත්වන්නේ 1948 වසරේදී ගුවන් විදුලියේ විකාශය කෙරුණු “විනෝද සමය” ප්‍රහසනාත්මක නාටමය වැඩසටහනෙනි.

දේශිය චිත්‍රාගාරයක රූපගත කළ මෙරට පළමු චිත්‍රපටය ලෙස සැළකෙන 1951 වසරේදී ප්‍රදර්ශනය කළ “බණ්ඩා නගරයට පැමිණිම”, චිත්‍රපටයෙන් රංගනයට පිවිසි බර්ටි ගුණතිලක මහතා “පෙම් මල් මාලා”, “පාලම යට”,“ දෙවියනි සත්‍ය සුරකින්න”, “මන මෝහිනී”, ‘‘සොමි බෝයිස්”, “එදා රෑ”, “අබුද්දස්ස කාලේ”, “සමාජ සතුරෝ”, “සිකුරු ලියා”, “මරුවා සමඟ වාසේ”, “කෝලංකාරයෝ” ඇතුළු චිත්‍රපට 50ක පමණ ප්‍රහසන චරිතවලට පණ පෙවීය.

කලා භූෂණ, මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්දු සම්මාන වලින් පිදුම් ලැබූ බර්ටි ගුණතිලක මහතා සිය දිවි සැරිය නිමාකළ ද විනෝද සමයෙන් රටක් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ ඔහුගේ නාමය මෙරට ප්‍රහසන රංගන ශිල්පීන් අතර විශිෂ්ටයකු ලෙස සදා මතකයේ රැඳෙනු ඇත.

අවුරුදු 97 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිකල මහතාට උතුම් නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් භාරත,හර්ෂ පුතනුවන්ටත් ජීවානි,කුමුදුනී දියණිවරුන්ටත් පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සහෘද කලාකරුවන්,රසිකයින්හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි..

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *