ෂේන් ​​වෝන් හෘදයාබාධයකින් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ බිහි වු විශිෂ්ටතම පාදඟ පන්දු යවන්නා ලෙස කාගෙත් ගෞරවය දිනා සිටි ශේන් වෝන්ගේ හදිසි මරණය මෑත කාලයේ ක්‍රිකට් ක්ෂේත්‍රය කම්පනයට පත් කළ විශාලතම සිදුවීමය.

කෙටි නිවාඩුවක් ගත කිරිමට තායිලන්තයේ සමුයි දූපතේ සුඛෝපභෝගී සමුජායි විලාස් නිවාඩු නිකේතනයේදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් පසුගිය සිකුරාදා ඔහු මෙලොවින් සමුගත්තේය.

වසර 2006දී අන්තර්ජාතික ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් සිය මරණය දක්වා අසීමිත ජනප්‍රියත්වයකට හිමිකම් කී 52 හැවිරිදි ශේන් කීත් වෝන් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරමින් අවසන් මොහොත දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවට සක්‍රීය දායකත්වය දැක්වූ අතර, සිය සුපුරුදු නිදහස් කෙළිලොල් ජීවිතය උපරිම අයුරින් භුක්ති විඳිමින් සිටියේය. ටෙස්ට් පිටියේ කඩුලු 708ක් දවාලමින් මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වූ වෝන් ප්‍රකටව සිටියේ ක්‍රිකට් පිටියේ දඩබ්බරයා ලෙසිනි.

පිටියේදී දඩබ්බරයකු වූවත් වෝන් පිටියෙන් පිටත ඉතා සංවේදී පුද්ගලයෙකි. මෙරට ක්‍රීඩාලෝලීන් අතර නයාට අඳුකොළ ගානට වැටී සිටි වෝන් 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහාය වීමට ශ්‍රී ලංකාවට පැමිණිමත් සමඟ අහිමි වූ ගෞරවය යළි දිනාගත්තේය. සුනාමි විපතෙන් පීඩාවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට මෙරට සංචාරය කළ පළමු විදෙස් ක්‍රීඩකයා ද ඔහු විය. සුනාමියෙන් දරුණු හානි සිදු වූ ගාල්ලේ සංචාරය කරමින් අවතැන් වූ ජනතාවගේ දුකසැප විමසා බැලූ හෙතෙම ඉන් දැඩි වේදනාවට සහ සංවේගයට පත් වූ බවත්, විපතට පත් වූවන් වෙනුවෙන් මිලියන ගණනාවක අරමුදල් රැස් කළ බවත් කියැවේ.

ඔහු සමාජ සේවයට එක් වූයේ ක්‍රීඩාවෙන් සමුගැනීමටත් පෙරය. 2004 වසරේදී ඔහු ශේන් වොන් පදනම ආරම්භ කළේ ලොව පුරා සිටින වරප්‍රසාද නොලත් දරුවන් වෙනුවෙනි. එය ඔහු මිය යනතුරුම පවත්වාගෙන ගිය අතර, එමගින් පරිත්‍යාග කළ මුදල් ප්‍රමාණය අතිවිශාලය.

ඔහු උපන්ගෙයි අක්ෂි වර්ණභේද තත්ත්වයකින් පසු වන්නකු බව දන්නේ අතලොස්සක් පමණි. වෝන්ගේ එක් ඇසක් නිල් පැහැතිය. අනෙක් ඇස කොළ පැහැතිය. complete heterochromia නමින් හඳුන්වනු ලබන මේ තත්ත්වයෙන් ඔහුගේ ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිණි.

සිය ක්‍රිකට් ජීවිතයේ ආරම්භක යුගයේදී ඔස්ට්‍රේලියානු ජාතික සිමෝන් කැලහන් සමඟ විවාහ වූ වෝන් දරුවන් තිදෙනකුගේ පියෙකි. එහෙත් පසුකාලීනව ඇයට හොර රහසින් වෙනත් කාන්තාවන් ඇසුරු කිරීමට යෑම නිසා ඔහුගේ විවාහය දික්කසාදය දක්වා දුර දිග ගියේය. ඔහු පසුකාලීනව තමාට වඩා වසර 4ක් වැඩිමල් බ්‍රිතාන්‍ය ජාතික නිලියක වන එලිසබෙත් හර්ලි සමඟ පෙමින් බැඳුණු අතර, එය බිඳ වැටුණේ ද කාන්තා ඇසුරට ලොල් වීම නිසාය.

වෝන්ට තිබී ඇත්තේ දීර්ඝ රෝග ඉතිහාසයකි. ඇදුම රෝගයෙන් මෙන්ම හෘද රෝග රැසකින්ම ඔහු පීඩා විඳි බවත්, අධික ලෙස දුම්පානය කිරීම මරණයට හේතු වන්නට ඇති බවත් ඔහුගේ සමීපතම මිත්‍රයා සහ සහායකයා වන ඇන්ඩෘ නියෝපිටෝ තායිලන්තයේ වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මරණ පරික්ෂණය ඊයේ තායිලන්තයේදී සිදු කිරීමට නියමිතව තිබිණි. අනතුරුව මෘතදේහය ඔස්ට්‍රේලියාවට රැගෙන යෑමට නියමිතය. වෝන්ගේ අවසන් කටයුතු සිදු වන්නේ ඔහුගේ උපන්බිම වන වික්ටෝරියා ප්‍රාන්තයේදීය. රාජ්‍ය ගෞරව සහිතව වෝන්ගේ අවමංගලෝත්සවය පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *