වැලි කැණීම් බලපත්‍ර සදහා අඩුආදායම්ලාභී පවුල්වලට ප්‍රමුඛත්වය

(කොළඹ, ලංකාපුවත්) – ගංගාවල වැලි කැණිම් බලපත්‍ර ලබා දීමේ දී මෙතෙක් එම බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ දීර්ඝකාලයක් සඳහා රජයේ හා පුද්ගලික ඉඩම් බදු පදනම මත ලබාගෙන වැලි කැණීම් කටයුතු කළ පුද්ගලයින්හට බවට මහජනතාවගෙන් පැමිණිළි, පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත්ව තිබේ.

එමනිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔවුන්ගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට ගංගාවල වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

2022 වසරේ සිට ම ඒ සඳහා පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.

වැලි කැණීම් බලපත් නිකුත් කිරීම විදිමත් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

බොහෝ දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ද දක්වා ඇති කරුණු අනුව අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙම පියවර ගත යුතු බවට ඔවුන් විසින් ද නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව 2022 වර්ෂයේ සිට ගංගා වැලි ගොඩ දැමීමේ කර්මාන්තය සඳහා නිර්දේශය/ අවසරය ලබා දීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ විදිමත් ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වැලි ගොඩදැමීම සිදු කරන ලද බලපත්‍රලාභීන් වෙත පදිංචිය නොසළකා තවදුරටත් එම කර්මාන්තය සිදු කර ගෙන යාම සඳහා නිර්දේශ/ අවසරපත් ලබා දෙනු ලබයි. එමෙන්ම අඩු ආදායම්ලාභී පුද්ගලයින්, හා දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ටත් වැලි කැණීම් බලපත්‍ර ලබා දීමට පියවර ගැනේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයක් තුළ වෙසෙන අයදුම්කරුවන්ගෙන් සියයට 50ක් හා වෙනත් බල ප්‍රදේශවල පදිංචිව සිටිය ද අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතරින් සියයට 50කටත් වන සේ බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. මෙහිදී වැලි ගොඩදැමීම විදිමත් ලෙස සිදු කිරීමට ඔවුන් සතුව ඇති හැකියාව, අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන අවශ්‍යතාවය, පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ දායකත්වය යන කරුණු ද බලපත්‍ර නිකුත් කිරීමේ දී සැළකිල්ලට ගනු ඇත.

කෙසේ වුවද දැනට ගංගාවල වැලි ගොඩදැමීම සඳහා දායකත්වය ලබා දෙන කම්කරුවන් රැසක් දෛනික වැටුපට වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන වැලි බලපත්‍රලාභීන් යටතේ වැඩ කරනු ලබයි.

එහෙත් ස්ථිරවම එම කොට්ඨාස තුළ පදිංචිකරුවන් වුවද තම ප්‍රදේශයේම ඇති ස්වාභාවික සම්පත්වලින් තම ජීවනෝපාය සංවර්ධනයට හෝ ආර්ථික මට්ටම ඉහළ නංවාගැනීමට ඇති හැකියාව අහිමි වු පවුල් විශාල ප්‍රමාණයක් තවමත් කම්කරුවන් වශයෙන් දෛනික වැටුපට සේවය කරනු ලැබයි.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය සඳහා වැලි කැණීම් බලපත් ලබා දීමේ දී ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *