කාන්තාව ඇගයීමකට ලක් නොවුණත් ඇය කරන්නේ සුවිශේෂී කාර්යභාර්යක්

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාව විවිධ භූමිකා ඔස්සේ සැම විටම සිය පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවුණු චරිතයක් බැවින් ඇය දුර්වල චරිතයක් නොවන බවත් සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළද කාන්තාව නිසි ඇගයීමකට ලක්නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

තිරසර හෙටක් උදෙසා පක්ෂග්‍රාහී බව බිදදමමු මැයෙන් Women in Management ආයතනය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී සංවිධානය කළ වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය කරනු ලබන කාන්තාවන්ගේ සේවය ඇගයීම අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කාන්තාවන් ජාති, කුල, ආගම්, ආර්ථික, දේශපාලන වශයෙන් විවිධ ආකාරයකට බෙදීමකට ලක්කිරීමට උත්සාහයක් පවතින බවයි. තමන් කරනු ලබන රැකියාව කුමක් වුවත් වඩාත් වැදගත් වන්නේ හොද ආත්ම අභිමානයකින් ජීවත්වීම මෙන්ම කරන කාර්ය භාර්ය බොහොම අවංකව ඉටුකිරීම බවත් ඒ තුළින් රට හැදීමේ කාර්ය සාක්ෂ්‍යාත් කර ගැනීමට හැකියාවක් පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන ලදි. කොළඹ ලස්සන කරන කාර්ය සදහා දායකවූ කාන්තාවන් සැමවිටම ඇගයිය යුතු බවත් අප දකින ලස්සන ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඔවුන් කරන කැපවීම වැදගත් බවත් ඒ කරන කාර්ය කිසිවිට අවකත්සේරු කරනොගන්නා ලෙස අමාත්‍යවරිය මෙහිදී පැමිණ සිටි කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සියදෙනෙකු මෙම වැඩසටහන සදහා සහභාගීවූ අතර එහිදී පරිසරය ආරක්ෂා කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය භාරය ඇගයීම, ආරක්ෂාව, ප්‍රතිචක්‍රීකරණය සහ කසළ කළමනාකරණයේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීම සහ ව්‍යවසායික මෙවලමක් වශයෙන් ප්‍රතිචක්‍රීකරණය සහ කසළ කළමනාකරණය යොදා ගැනීමට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදි. මෙහිදී පැමිණ සිටි කාන්තාවන් සදහා වියළි සලාක පාර්සල් සහ ත්‍යාග මෙන්ම ඔවුන් සදහා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර මේ සදහා කොකා කෝලා ආයතනයේ අනුග්‍රහය ලැබී ඇත.

මෙම අවස්ථාවට කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා, කොකාකෝලා ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ පංකජ් සිංහා, එහි මහජන සම්බන්ධතා, සංනිවේදන සහ තිරසර බව පිළිබද ප්‍රාදේශීය ප්‍රධානී ලක්ෂාන් මදුරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *