සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා 2022 මාර්තු 11 වන දින ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ට්‍රින්කොමලී පවර් කම්පනි ලිමිටඩ් (TPCL) සඳහා ඒකාබද්ධ ව්‍යාපාර සහ කොටස්කරුවන්ගේ ගිවිසුම (JVSHA) අත්සන් තැබීමේ අවස්ථාවට එක් විය.

මෙය සාම්පූර් හි මෙගා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයකි.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සහ සූර්ය, සුළං සහ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීහු මෙම උත්සවයට සහභාගී වූහ. NTPC හි ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී නරින්දර් මෝහන් ගුප්තා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩෝ සහ TPCL හි සභාපති එන්. එස්. ඉලංගකෝන් යන මහත්වරු මෙම ත්‍රෛපාර්ශවික ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ රැකියා නියුක්තියට දායක වන විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන ඉහළ නැංවීමට දෙපාර්ශවය විසින් එකඟ වන ලදී. සාම්පූර් සූර්ය බලාගාරය මේ සම්බන්ධයෙන් වන වැදගත් පියවරකි.

මෙම ගිවිසුම අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන්ට පුළුල් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි අයුරකින් ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව සතු හැකියාව ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවකි. මෙම ව්‍යාපෘතිය කඩිනම් සහ ඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීම ධෛර්යමත් කිරීමට ද ඒ සඳහා පහසුකම් සැලසීමට ද අපි ඉදිරියටත් කටයුතු කරමු.

පුනර්ජනනීය බලශක්තිය සහ වඩා පිරිසිදු, හරිත සහ දේශගුණික ප්‍රත්‍යස්ථිත සමාජයන් ගොඩනැගීම සඳහා වන කාර්යභාරය පුළුල් කිරීමට ඉන්දියාව කැප වී සිටියි. ඉන්දියාව අන්තර්ජාතික මට්ටමේදී ජාත්‍යන්තර සූර්යබල සන්ධානය සහ දේශගුණික අනුවර්තනය වෙනුවෙන් ආපදා ප්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් සඳහා වන එකතුව වැනි ආයතනික විසඳුම් ලබා දී ඇත. දිවයින තුළ සූර්ය බල ව්‍යාපෘතීන් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සමඟ අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇත. එසේම, පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම පෞද්ගලික අංශය තුළ සැලකිය යුතු උනන්දුවක් පවතින අතර එය ඉදිරි වසර වලදී තවදුරටත් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *