යෝජිත සංචාරක පනත පිළිබඳ ඇමති අදහස් දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයගේ අදහස් සැලකිල්ලට නොගෙන යෝජිත සංචාරක පනත සම්මත කර ගැනීමට කිසිදු සුදානමක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යෝජිත නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ එකගතාවය ඇතිව බවයි.

යෝජිත නව සංචාරක පණත සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ප්‍රධාන සංවිධාන කිහිපයක නියෝජිතයන් සමග ඊයේ (14) සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

දැනට ක්‍රියාත්මක 2005 අංක 38 දරණ සංචාරක පණත වෙනුවට නව පණතක් හදුන්වා දීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පාර්ශව මගින් පෙන්වා දී ඇති බවත් සංචාරක කර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම අදහස් පලව ඇති බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

යෝජිත නව පණත තවමත් කෙටුම්පතක් පමණක් වන අතර ඒ සදහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ අදහස් ලබා ගැනීමටද අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු කෙරෙහි ද රජය සිය විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසු ඇමතිවරයා සියලු පාර්ශවයන්ගේ එකගතාවය ඇතිව පණත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සිය අපේක්ෂාව බව ද කීවේය.

පවතින පණත සංශෝධනය විය යුතු බව සංචාරක ඇමතිවරයා ලෙස තමන් මුල සිට දැරූ ස්ථාවරය බවත් එය බලහත්කාරයෙන් සම්මත කර ගැනීමේ සුදානමක් කිසිසේත් නැති බවත් අවධාරණය කළ ඇමතිවරයා කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේ දි එහි යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නෛතික රාමුව ශක්තිමත් කිරිම ද අත්‍යවශ්‍යය බව පෙන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධාන වල නියෝජිතයෝ ද සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *