‘මියන් කුමාර‘ ගැන අසත්‍ය තොරතුරු මවන්නන්ට වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) – බෙල්ලන්විල මියන් කුමාර ඇතා සම්බන්ධ පැරණි විකෘති කරන ලද ඡායාරූප පල කිරිම හෝ ඒ සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ ගත කළහොත් එම පුද්ගලයන් හට නීතිමය පියවර ගන්නා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

අධ්‍යක්‍ෂ ජනරාල්වරිය, පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරයෙන් සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව මේ බව අනාවරණය කළාය.

මියන් කුමාර ඇතා පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන සංවේදී වීඩියෝව පිළිබඳව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“බෙල්ලන්විල මියන් කුමාර ඇතා මෙම කාලයේදී සිය වාර්ෂික මද කාලය ගතකරමින් විහාර භූමිය තුළ සුවසේ වෙසෙයි. පසුගිය වසරේ (2021) මෙම ඇතා සම්බන්ධයෙන් අධිකරණ නඩුවක් ගොනු කර තිබූ අතර එහිදී එම වීඩියෝව 2019දී පමණ ලබාගත් ඉතා පරණ එකක් බවත් වර්තමානයේ දී බෙල්ලන්විල මියන් කුමාර හස්තියා කිසිදු හිංසාවකින් තොරව සුවසේ වෙසෙන බවත් අධිකරණය වටහාගෙන නඩුව නිෂ්ප්‍රභා කරනු ලැබ ඇත. මෙම ඇතාගේ පරණ විකෘති කරන ලද ඡායාරූප පල කිරිම හෝ නැවත මෙම අසත්‍ය තොරතුරු සමාජ ගත කළහොත් එම පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට සිදුවන බවද බෙල්ලන්විල රජ මහා විහාරය විසින් තවදුරටත් දැනුම් දෙයි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *