ඉම්රාන් ඛාන්ට බලය අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවෙන් අගමැති ඉම්රාන් ඛාන් පරාජයට පත් විය.

පෙරේදා මධ්‍යම රාත්‍රිය වනතුරු ඇදී ගිය තීරණාත්මක ඡන්ද විමසුමට පක්ෂව මන්ත්‍රීවරුන් 174 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ ඉම්රාන් ඛාන්ට බලය අහිමි විය. පාකිස්තාන දේශපාලන ක්ෂේත්‍රයේ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකළ පළමු අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් විය.

ආසන 342කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකිවීම බහුතර ඡන්ද ප්‍රමාණයක් බව කතානායකවරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉම්රාන්ගේ ටෙහ්රීකී ඉන්සාෆ් පක්ෂ රජයේ සෙනෙට් සභික ෆයිසාල් ජවේඩ් ප්‍රකාශ කළේ ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ තීරණයට හිස නමා අගමැති නිල නිවසින් ඉවත්ව ගිය බවය.

පාකිස්තානයේ නව අගමැති තෝරා පත් කර ගැනීමට එරට පාර්ලිමේන්තුව අද (11) රැස්වීමට නියමිතය. නව අගමැතිවරයාට එරට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන 2023 ඔක්තෝබර් මාසය දක්වා බලයේ සිටීමට හැකිවනු ඇත. ඒ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සිය නාමයෝජනා බාරදීමට ඊයේ පස්වරුව වනතුරු කාලය දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *