ට්‍රම්ප්ගේ ජනපති අපේක්‍ෂකත්වය ප්‍රාන්තයකට තහනම්

(කොළඹ | ලංකාපුවත්) –  අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී ඇත.

ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

2021 වසරේ දී අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ කෝලාහලයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා කැරැල්ලකට සහභාගී වූ බවත්ඔහුගේ ආධාරකරුවන් එදින කොන්ග්‍රසයට කඩා වැදීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ලබා දී ඇත.

අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමිවේ. කෙසේ නමුත් කොලරාඩෝවෙන් පිටත ප්‍රාන්තවලට මෙය අදාළ නොවේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම ජනවාරි 4 වැනිදා දක්වා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවන බවයි. එය ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ප්‍රාථමික ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිත කාලසීමාව ආසන්න කාලය ද වේ.

ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට බලපෑමක් ඇති කළ හැකි වුවද, රිපබ්ලිකන් ඡන්දදායකයින් තමන් කැමති ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා මාර්තු 5 වන දින ප්‍රාන්තයේ ප්‍රාථමික මැතිවරණයට පමණක් මෙම තීන්දුව අදාළ වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *