උසස් පෙළ ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) – 2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වේ.

නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේ, විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් පෙනී සිටීමට නියමිත බවයි.

මෙවර විභාගය අද සිට ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා පවසනවා.

අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව වැලිකන්ද, අරලගන්විල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල අපේක්ෂකයින් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.

සියලු විෂයන්ගෙන් විභාගයට පෙනී සිටින අපේක්ෂයකයින් සඳහා එම මධ්‍යස්ථානය තුළ පහසුකම් සලසා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ, ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය හා ලුණුගල මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 2 ක් ද පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් බලපෑමට ලක්වුවහොත් ඒ බව දැනුම් දිය හැකි දුරකතන අංක පිළිබඳව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සඳහන් කළා

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංක වෙත දැනුම් දීමේ හැකියාව පවතිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *