කොළඹ වරාය 2023 බහාලු 6,951,003ක් මෙහෙයවලා

(කොළඹ | ලංකාපුවත්) – මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරන කොළඹ වරාය පසුගිය 2023 වසරේ දී බහාලු 6,951,003ක් මෙහෙයවා තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

එය පසුගිය 2022 වසරේ මෙහෙයවා තිබෙන බහාලු 6,862,184ට සාපේක්ෂව සියයට 1.17ක වර්ධනයක් බවද මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් පාලනය වන ජය බහාලු පර්යන්තයේ (JCT) හා නැඟෙනහිර බහාලු පර්යන්තයේ (ECT) බහාලු මෙහෙයුම්වල වර්ධනයක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර ජය බහාලු පර්යන්තයේ (JCT) හා නැඟෙනහිර බහාලු පර්යන්තයේ (ECT) බහාලු මෙහෙයුම්වල වර්ධනයක් ද පෙන්වා තිබෙන අතර, එහි පසුගිය 2023 වසරේ දී බහාලු 1,965,128ක් මෙහෙයවා තිබෙන බවද එය පසුගිය 2022 වසරේ මෙහෙයවා තිබෙන බහාලු 1,925,895ට සාපේක්ෂව සියයට දෙකක වර්ධනයක් බවද වරාය අධිකාරිය කියයි.

පසුගිය 2022 වර්ෂයේ බහාලු මෙහෙයුම්හි පහළ යාමක් ප්‍රතිශතාත්මකව දක්නට ලැබුණ ද ලෝක වෙළෙඳපළ තුළ ආනයන, අපනයන තත්ත්වය හා ලංකාවේ ආර්ථිකය ක්‍රමිකව ප්‍රකෘතිමත් වෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබීම හේතුවෙන් බහාලු මෙහෙයුම්වල වර්ධනයක් දක්නට ලැබෙන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

ජය බහාලු පර්යන්තයේ හා නැඟෙනහිර බහාලු පර්යන්තයේ කාර්යක්ෂමතාවය ඉහළ යාමත්, නව නැව් සේවාවන් ආකර්ෂණය කරගැනීමට හැකිවීමත්, නෞකා සමාගම් සමඟ ගිවිසුම්ගත වීමත් හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් ධාරිතාව සියයට 2 කින් ඉහළ ගොස් ඇත.

ඉදිරියේ දී ECT පර්යන්තයේ හා JCT – V පර්යන්ත ව්‍යාපෘතියේ ඉදි කිරීම් කඩිනමින් නිමාවීමත් සමඟ නව නෞකා සේවාවන් තවතවත් සිය පර්යන්ත වෙත ආකර්ෂණය කර ගැනීමට හැකිවීම තුළින් සිය මෙහෙයුම් ධාරිතාව තව තවත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *