ගෝලීය ශුන්‍ය කාබන් ඉලක්කය සපුරා ගැනීමට දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්න – ජනපති ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලයි

(කොළඹ | ලංකාපුවත්) – දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංසදය විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමිනි.

පසුගියදා ඩුබායිහි පැවති COP-28 සමුළුවේදී, දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් 20ක් විසින් සිය දේශගුණික සෞභාග්‍ය සැලසුම් එළිදක්වන ලදී.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍යවන රටවලට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික තත්ත්වය සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා දියුණු ආර්ථිකයක් ඇති රටවලින්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම හමුවට එක් වන ලෙස මෙහි අභිනව මහලේකම් ලෙස පත්වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් මහතා කළ ආරාධනය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික ක්‍රියාකාරකම් තුළින් සමෘද්ධිමත් සංවර්ධනයක් කරා ළඟාවීම වෙනුවෙන් වූ අපගේ සාමූහික ඉල්ලීම, නවෝත්පාදන විසඳුම් මගින් මෙහෙයවනු ලබන තිරසාර ලෝකයක් සඳහා වූ අපගේ දැක්ම තුළ අන්තර්ගත වෙනවා.
දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේදී පවතින සංකීර්ණ අසමානතාවයන් පිළිබඳ අපි සෑම කෙනෙකුම දැනුවත්. ගෝලීය කාබන් විමෝචනයට සුළු හෝ දායකත්වයක් ලබා නොදෙන, ගෝලීය දකුණේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට මුහුණ දෙනවා.

මේ හමුවේ සමතුලිතතාවය නැවත ඇති කරවීම සඳහා වූ බහුපාර්ශ්වික ප්‍රයත්නයන්හි කැපවීම් ඉහළ මට්ටමක පවතින නමුත් එහි ප්‍රතිඵල අඩු මට්ටමක පවතිනවා.

ඩුබායි හි පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් “නිවර්තන කලාපීය මුලපිරීම” දියත් කරන ලද්දේ දේශගුණික යුක්තිය පිළිබඳ මෙම ගැටලුව මත පදනම්වයි. මෙම මුලපිරීම මගින් නිවර්තන කලාපයේ තීරණාත්මක දේශගුණික සම්පත් තිරසාරව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අරමුදල් ආයෝජනය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලබා දීමට අදහස් කරනවා.

මේ සඳහා අපේ වනාන්තර, කඩොලාන, සාගර, පුනර්ජනනීය බලශක්ති සම්පත් ඇතුළු අනෙකුත් දේ ඇතුළත් වෙනවා. එවැනි ආයෝජන වෙනුවෙන් පවතින ක්‍රම හඳුනා ගැනීම සඳහා, සංවර්ධනය වෙමින් පවතින රටවල් ශක්තිමත් සැලසුම් මෙන්ම ප්‍රාග්ධනය සැපයීම සඳහා ආයෝජකයාගේ අවශ්‍යතා සපුරාලිය හැකි ව්‍යාපෘති හඳුනාගත යුතුයි.

ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සකස් කිරීමේ අභියෝගාත්මක පියවර ගෙන ඇති අතර එමඟින් අපගේ දේශගුණික හා ජෛව විවිධත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වන අතරම ශ්‍රි ලාංකිකයින්ට තිරසාර සමෘද්ධියක් ද හිමිකර දෙනවා.

ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් අපගේ කර්මාන්ත සහ සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා සම්පත් මත පදනම් වූ අංශ ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කෙරෙනවා.
අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් යෝජනා කර ඇති ඉලක්කගත මැදිහත්වීම්, අපගේ ජාතික තත්වයන් මත පදනම් වී ඇති අතර 2025 වන විට ශුද්ධ බලශක්ති අපනයනකරුවෙකු බවට පත්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මගින් දේශීය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම අරමුණු වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් ඉදිරිපත් කර ඇති ආයෝජන අවස්ථා සපුරා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇති අතර 2040 වන විට දේශීය බලශක්ති අවශ්‍යතාවයෙන් 100% ඉක්මවනු ඇතියි.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මෙහි ඇතැම් ව්‍යාපෘති මගින් අඩු කාබන් විමෝචනයක් සිදු කරමින් සහ වඩා ඵලදායී වීමට අපේක්ෂා කරන කෘෂිකාර්මික ව්‍යාපෘති මෙන්ම දේශීය නිෂ්පාදන සහිත වෙරළාසන්න සුළං බලය පිළිබඳ ව්‍යාපෘති ද ඇතුළත් වෙනවා.

ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයන් සහ දේශීය නිෂ්පාදන වටිනාකම් දාමයන් ඒකාබද්ධ කරන එවැනි ආයෝජන සතු බලපෑම මෙමඟින් සහතික කෙරෙනවා.

මෙම දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ සඳහන් ආයෝජන අවස්ථා සාක්ෂාත් කර ගැනීමට අප කැපවී සිටින අතර මූල්‍ය පහසුකම් සලසා, ආයෝජනය කළ හැකි ව්‍යාපෘති සඳහා ආයෝජන පත්‍රිකා සැකසීම වැනි තීරණාත්මක ඉදිරි පියවර ගනිමින් සිටිනවා.

කෙසේ වෙතත්, මෙම බලාපොරොත්තු සහගත ව්‍යාපෘති මගින් රැකියා උත්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වන පුහුණුව, කුසලතා සහ ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන ඉල්ලා සිටිනවා. තිරසර සහ දේශගුණික සුරක්ෂිත පරිවර්තනයක් තුළ උපරිමයෙන් රැකියා ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙමගින් හැකියාව ලැබෙනවා.

අවදානමට ලක්විය හැකි 20 දෙනාගේ කණ්ඩායම විසින් (V20) එක්ව ඉදිරිපත් කරන ලද දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොවෙයි. මෙම සැලසුම්, ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීම සඳහා අපගේ න්‍යාය පත්‍රය බවට ද පත්වෙනවා.

අපේ ධනවත් සහ ප්‍රධාන ආර්ථික සගයන් සතුව පවතින සම්පත් අප සතුව නැහැ.දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්ව තිබෙනවා. එසේම මේ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය අයට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික පසුබිම සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණ කර තිබෙනවා.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලසුම්වල පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට අපට උපකාර කරන ලෙස අපගේ සංවර්ධන හවුල්කරුවන්ගෙන්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවෙන් අප ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *