මැයි දිනයට කොළඹ – මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සඳුදාට(01) යෙදෙන ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉරිදා (30) රාත්‍රී කාලයේ සිට එය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මැයි දින පෙළපාලි සහ රැස්වීම් හේතුවෙන් කොළඹ බස් රථ මාර්ග කිහිපයක් සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.

ඒ අනුව මාර්ග අංක 138, මාර්ග අංක 154 , මාර්ග අංක 176 සහ මාර්ග අංක 103 බස් රථ අදාළ කාලය තුළ පොලීසිය විසින් දක්වා ඇති විකල්ප මාර්ගවල ගමන් කළ යුතු වේ.

නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සියලු වාහන බණ්ඩාරනායක වටරවුම, ඉගුරුකඩේ හන්දිය, සිරිමාවෝ බණ්ඩාරනායක වටරවුම, ආමර්වීදිය විදුලි සංඥා හන්දිය, අමාර්වීදිය සෙන්ට්‍රරල් පාර හරහා පිටකොටුව දෙසට ගමන් කළ හැකිය.

ගාලු පාර කොටුව සිට දෙහිවල දක්වා සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ සාමාන්‍ය වාහන ගමනා ගමනය සිදු කරන මාර්ග ලෙස පොලිස් මුලස්ථානය දැනුම් දේ.

30 වනදා රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයක රථ වාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.

එසේම මාලිගාවත්ත, බේස්ලයින් පාර, සරණංකර පාර සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල මාර්ග කිහිපයක් රථ වාහන ගමනා ගමනයට වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කෙරෙනු ඇත.

මේ අතර ගන්නෝරුව මාර්ගයෙන් ගැටඹේ ක්‍රීඩාංගණය වෙත සහ මහනුවර – පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ගැටඹේ ක්‍රීඩාංගණයට පැමිණීමට හැකි වන අතර රථ වාහන ගාල් කිරීම සඳහා විශේෂ ස්ථාන නම් කර තිබේ.

කොළඹ සිට මහනුවරට ගමන් ගන්නා රථ වාහන සහ මහනුවර සිට කොළඹට ගමන් ගන්නා වාහන පොලීසියේ උපදෙස් පරිදි විකල්ප මාර්ග භාවිත කළ යුතුය.

මේ අතර මැයි 01දා කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මැයි දින සැමරුම් උත්සව සහ පෙළපාලි වෙනුවෙන් ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 2600ක් යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *