මාතෘභූමියේ සමෘද්ධියත් සහජීවනයත් වෙනුවෙන් කළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා මාතෘභුමියට සමෘද්ධියත් සහජීවනයත් උදාකිරීම උදෙසා පසුගිය වසර දෙකහමාර තුළ රජය සිදුකළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සමග පසුගිය 23වනදා පැවැති හමුවකට එක්වෙමිනි.

දුගීභාවයෙන් රට නිදහස් කරගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම, උසුලන්නට බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම යන කාර්යයන් සඳහා පසුගිය වසර දෙකහමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

පශ්චාත් යුද සමයේ රජයක් විසින් ඉටුකළ යුතු කාර්යයන් නිසි ලෙස ඉටු නොකිරීම නිසා වත්මන් රජයට ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා 2015 ජනවාරි 08 වන දා තමා ජනාධිපති ධුරයට පත්කර ගනිමින් රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් පියවරෙන් පියවර ඉටුකරමින් අද රජය ඉදිරියට ගමන් කරන බව ද ප‍්‍රකාශ කළේය.

අද ඇතැම් සමාජ වෙබ් අඩවි සහ අන්තර්ජාලය ඔස්සේ විදේශගත ශ‍්‍රී ලාංකිකයින් වෙත ගෙනයන්නේ රටේ සැබෑ තත්ත්වය නොව අසත්‍ය ප‍්‍රචාර බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තම එකම අභිලාෂය ශ‍්‍රී ලංකා මාතෘභූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනැගීම බව ද ප‍්‍රකාශ කළේය.

සියලු ජනකොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කර සියලු ශ‍්‍රී ලාංකිකයින් සතුටින් ජීවත්වන රටක් ගොඩනැගීමට රජය සියලු වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

නිව්යෝර්ක් නුවර කුවින්ස් බෞද්ධ විහාරස්ථානයට (Queens Temple) ගිය ජනාධිපතිතුමා එය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙම හමුවට එක්විය. කුවින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ සිදුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ‍්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ධර්මධර විනයධර මහා සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වන කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් සිදුකරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා උන්වහන්සේ බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ගෞරවයට ලක්වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් බවද ප‍්‍රකාශ කළේය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ හින්දු, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලා ද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *