ප්‍රතිකාර ගන්නා සිසුන්ට ඉගැන්විමට ගුරුවරුන් රෝහල් වෙතට

(කොළඹ, ලංකාපුවත්) – රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් වෙනුවෙන් ගුරුවරුන් රෝහල් වෙත ගොස් ඉගැන්වීමේ වැඩපිලිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශය ආරම්භ කිරිමට නියමිතය.

රෝහල් ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීම වළක්වාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.

මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලුව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට අදාළ විෂය කොටස් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනා ගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගියදා සිදු කෙරුණි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවත පාසලට ගිය විට අදාළ විෂය කොටස් අතපසු වීම නිසා බොහෝ අවස්ථාවලදී එම සිසුන් පාසලින් ගිලිහෙන්නන් බවට පත්වන බැවින් එම දරුවන්ට ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් සෙසු රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොළඹ නාලන්දා විදුහලට අනුයුක්තව පත්වීම් ලැබ වසරක සේවා කාලයක් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්ත කරනු ලැබ සිටින මෙම ගුරුවරුන් අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 04 දෙනෙකු සහ එක් දෙමළ මාධ්‍ය ගුරුවරයකු සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *