ශ්‍රී ලංකා පිල ඉන්දීය ටෙස්ට් සංචාරය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –වසර අටකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා අද (08) අළුයම පිටත්ව ගියේය. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ අද ඉන්දීය සංචාරයට පිටත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මේ මස 16 වැනිදා කල්කටා නුවරදී පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ඊට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ කණ්ඩායම සමග 11 සහ 12 දෙදින කල්කටා හී දීම පුහුණු තරගයකට ක්‍රීඩා කරනු ඇත.

මීට පෙර අවසන් වරට වසර 2009 නොවැම්බර් මාසයේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් පරාජයට පත්විය. එම තරගමාලාවට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙවර සංචාරයට එක්වී සිටින්නේ ඇන්ජෙලෝ මැතිව්ස් සහ රංගන හේරත් පමණි. එහිදී මැදපෙළ පිතිකරු ලෙස ක්‍රීඩා කළ තිලාන් සමරවීර මෙවර සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස එක්වී සිටීම විශේෂත්වයකි.

වසර 1982 ඉන්දියාවේදී සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් පසුව මේ දක්වා ඉන්දියාවේදී ටෙස්ට් තරගමාලා 6කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට කිසිදු ජයග්‍රහණයක් අත්නොවීය. එබැවින් මෙවර ටෙස්ට් තරගමාලාවට ශ්‍රී ලංකාව එක්වන්නේ ඒ කටුක මතක සටහනත් කරපින්නාගෙනය.

ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීමේ දුෂ්කරතාව ශ්‍රී ලංකා පිල මැනවින් අවබෝධ කරගෙන සිටී. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරගමාලාව 3-0කින් ජයගත් ඉන්දීය පිලේ පිතිහරඹයේ හා පන්දු යැවීමේ ප්‍රබලත්වය හමුවේ දැඩි සටනක නිරතවීමට ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත.

වසර ගණනාවක් පුරා සිය දඟපන්දු යැවිමේ අංශයෙන් ටෙස්ට් කරළිය දිග්විජය කරමින් සිටින ඉන්දිය පිලේ සුපිරි දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් සහ ඔහුට නොදෙවැනි ලෙස දස්කම් දක්වමින් සිටින රවීන්ද්‍ර ජඩේජා මෙවර තරගමාලාවේදිත් ශ්‍රී ලංකා පිලට දැඩි හිසරදයක් ගෙන දෙනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *