ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ මහ නගර සභාව විසින් නිකුත් ‍කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේ.

මේ අනුව මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බල පත්‍රය දෙසතියකින් පමණ බල පත්‍ර අයදුම්කරුට ලබා ගත හැකි බවත් ඒ සදහා වන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

සිය අයදුම්පත ඇතුළු ලිපි ලේඛන නගර සභාව වෙත බාර දීමෙන් පසු අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණෙන දිනයද බල පත්‍රය සුදානම් වීමෙන් පසු එය රැගෙන යාමට පැමිණෙන ලෙසද අයදුම්පත් ලාභියාට කෙටි පණිවිඩයක් ඔස්සේ දැන ගැනීමට හැකිවේ.

තවද ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රයකට අදාළ ලිපි ලේඛන බල පත්‍ර අයදුම්කරුවකු විසින් කාර්යාලයට බාරදුන් අවස්ථාවේ සිට බලපත්‍රය නිකුත් කරන තෙක් කුමන අංශයක කුමන ක්‍රියාවලියකට යටත්ව තිබේදැයි යන වග අදාළ කාර්යමණ්ඩලයට සිය පරිගණක පද්ධතිය ඔස්සේ දැනුවත් වීමටද හැකියාව ලැබේ.

මෙම පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීම නොබෝදා කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර එහිදී අදහස් දැක්වු ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිඹද ඇමති හරීන් ප්‍රනාන්දු මහතා:

“අද වන විට මුළු ලෝකයම ඉතා වේගයෙන් ඩිජිටල්කරණයට පරිවර්තනය වෙමින් තිබෙනවා.මේ නිසා අද බෝහෝ වැඩකටයුතු පහසුවට ඉක්මනට කර ගන්න හැකිවී තිබෙනවා.රාජ්‍ය ආයතනයකට නොපැමිණ ජනතාවට සිය නිවසේ සිටම ඇතැම් සේවාවන් අද ලබා ගැනීමට හැකිවී තිබෙනවා.මෙම ඩිජිටල්කරණය නිසා දුෂණ අක්‍රමිකතාවයන් වළක්වාගැනීමටද මගක් වී තිබෙනවා.රාජ්‍ය ආයතන ජාල ගත කිරීමේ ක්‍රියාවලිය යටතේ රාජ්‍ය ආයතන 3500ක් ජාල ගත කිරීම අපේක්ෂාවයි.කොළඹ නගර දෙකක් ආදර්ශ සුහුරු නගර බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.“

ජාත්‍යන්තර ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරට ඒමට මෙවැනි සේවා පහසුකම් ලබා දීම ඉතා වැදගත් බවත් කොළඹ නගර වාසීන්ට මෙවැනි පහසුකමක් ලබා දීම ගැන සතුටු වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය: “මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය ලබා ගැනීම සදහා පසුගිය කාලයේ නගරවාසීන්ට විවිධ දුෂ්කරතාවයන් රැසකට ලක්වීමට සිදුවුණා. නමුත් දැන් දින කිහිපයක් ඇතුලත එම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි වී තිබෙනවා. මා නගරවාසීන්ට පොරෝන්දුවක් වුණා කොළඹ නගරය සුහුරු නගරයක් කරන බවට ඒ අද ඒ පොරොන්දුව අපි ඉටු කරමින් සිටිනවා.“

www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය ලබා ගැනීම සදහා ලියාපදිංචි විය හැකිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා නියෝජිතායතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික ද සොයිසා ව්‍යාපෘති කළමණාකරු චාමේන්ද්‍ර තිලංක පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *