කාන්තාවන් විදේශ ගෘහ සේවයට යැවීම පිළිබඳව විරුද්ධ බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිතුමා පවසයි.

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිතුමා විදේශීය ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අදට(08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.

“සුහුරු කතක් – සොඳුරු ලොවක්” තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

1908 වසරේ ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ආරම්භ කළ අරගලයෙන් ඇරඹි කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයේ බලපෑමෙන් 1911 වසරේ මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරිණි.

කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද එය සෑම වසරකම උත්කර්ෂවත්ව සැමරෙන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙවර ද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කළ ප්‍රකාශනය ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් වූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගැයීම් සම්මාන හා සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ඇමතිනි තලතා අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනී සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *