ෂැංග්‍රිලා හෝටලයට යාබද ඉඩම විකුණා ඇති බවට ගෙන යන ප්‍රචාරය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා

(කොළඹ, ලංකාපුවත්) –ෂැංග්‍රිලා හෝටලයට යාබද ඉඩම විකුණා ඇති බවට ගෙන යන ප්‍රචාරය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එම ඉඩම 99 බද්ධට යටත්ව ලබා දී ඇති බවත් එහි තට්ටු තිහකින් යුත් මහල් සංකීර්ණයක්, නිවාස 700 ක්, වෙළෙඳ සංකීර්ණයක් සහ වානිජ මධ්‍යස්ථාන, සුඛෝපභෝගී සාප්පු කාර්යාල සංකීර්ණ ඇතුළු පහසුකම් රැසක් ඇතුළත්ව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා කීවේය. මෙහි අක්කර තුනයි, රූඩ් 3 යි, පර්චස් 5 ක් තිබෙන බව පැවැසු ඒ මහතා එහි සම්පූර්ණ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 78000 ක් බවත් ඉන් ලක්ෂ 18500 ක් මේ වෙන විට රජයට ගෙවා ඇති බව කියා සිටියේය.

ඉතිරි මුදල් ප්‍රමාණය ජනවාරි 31 වැනි දිනට පෙර ගෙවීමට පෙර ගෙවීමට පොරොන්දු වී ඇති බවත් එම මුදල ගෙවූ පසු ගිවිසුම්වලට එළැඹී මාර්තු මස අවසන් වීමට පෙර ආයෝජන කටයුතු ආරම්භ කිරීමට තීරණය කැර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කෙළේය.

පුවත්පත්වල පළ වුණා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි මන්ත්‍රී විජිත හේරත් මහතා පුවත්පත්වලට කියලා තිබෙනවා මෙම ඉඩම විකුණලා කියලා. එය අමූලික බොරුවක්. මේ ඉඩම අක්කර තුනයි රූඩ් 3 යි පර්චස් 5 යි. මේ ඉඩම සම්පූර්ණයෙන්ම දීලා තිබෙන්නේ 99 බද්දට. මේහි දැනට ගිවිසුම් අස්සන් කරලා නැහැ. නමුත් මේ වන විට ලක්ෂ 18500 ක් රජයට ගෙවලා තිබෙනවා. ඉතුරු ටික ජනවාරි මාසේ 31 වැනිදාට පෙර ගෙවන්න ඒ ගොල්ලෝ පොරොන්දු වෙලා තිබෙනවා. ජනවාරි 31 වැනිදා ඉතිරි මුදල ගෙව්වාට පස්සේ ඔවුන් ගිවිසුම් ගත වෙනවා. ඒ වගේම මාර්තු මාසය අවසන් වෙන්න කලින් මෙහි ආයෝජනය පටන් ගන්න ඕනෑ. පසුගිය ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරලා තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා විදියට පත් වෙලා දින කිහිපයක් යද්දි මේ ගැන සොයා බලා වහාම ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. එහි වටිනාකම ඩොලර් මිලියන 250 ක්. ඒ අනුව මේ ඉඩම ලබා දී තිබෙන්නේ බදු පදනම මත. ඒ විතරක් නෙවෙයි මාසිකව ලක්ෂ හතර හමාරක කුළියක් ආණ්ඩුව අය කරනවා. මෙය ඉතා විනිවිද භාවයෙන් යුතුව කැබිනට් අනුමැතිය අරන් කරපු දෙයක්. මෙහි කිසිම ගැටලුවක් නැහැ. රටට ආයෝජන අවශ්‍යයි. මෙය පසුගිය ආණ්ඩුව ප්‍රමාද කෙළේ ඇයිද කියලා අපි දන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *