බිලියන 1.2කට ආසන්න මුදලක් රජයට පාඩු කළ පොහොර විෂමාචාර සම්බන්ධයෙන් 05කගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) –2018/2019 වර්ෂවලට අදාළව පොහොර බෙදා හැරිමේ විෂමාචාරවලට සම්බන්ධ නිලධාරින් 05 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

සාවද්‍ය ලේඛන සකස්කොට රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ එවකට සේවය කළ සහකාර අධ්‍යක්ෂවරු 03 දෙනෙකු සහ සංවර්ධන නිලධාරීන් 02කුගේ සේවය අත්හිටුවා තිඛේ.

මෙම වංචාවට සම්බන්ධ විමර්ශන කටයුතු මන්දගාමීව පැවතීම පිළිබඳව දිගින් දිගටම කෘෂිකර්ම අමාත්‍යවරයා සොයා බලන ලදි.
නොබෝදා පාර්ලිමේන්තුවේ ද මෙම වංචාව පිළිබඳ අමාත්‍යවරයාගෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේය. නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සඳහා රසායනාගාර පරීක්ෂණ වාර්තා සාවද්‍ය ලෙස සකස් කිරීම ද මෙම චෝදනාවලට ඇතුළත්ය.

විගණකාධිපති වාර්තාවට අනුව අදාළ වංචාව පිළිබඳ විමර්ශන සිදුවූ අතර, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා මේ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය. ලක්පොහොර සමාගමේ මිලියන 201ක රජයේ මුදල් දියකළ වංචාව සහ විගණකාධිපති වාර්තාව අනුව හෙළි වූ රුපියල් බිලියන 1.2කට ආසන්න මෙම වංචාව පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස දිගින් දිගටම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දුන්නේය.

නොබෝදා ලක්පොහොර සමාගමේ කළ නිරීක්ෂණ චාරිකාවේදී ද අමාත්‍යවරයා වංචාවන් පිළිබඳ විමර්ශන කඩිනම් හා කාර්යක්ෂම කරන ලෙස, අදාළ නිලධාරින්ට අවධාරණය කරන ලදි. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙසින් පත්කළ කමිටුව මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.

අදාල නිලධාරින් 05දෙනාගේ සේවය අත්හිටුවීමට කමිටුව නිර්දේශ කොට තිඛේ.

ඒ පිළිබඳ කමිටු වාර්තාව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාට භාර දීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාට යොමු කරන ලදි.

අමාත්‍යාංශ මට්ටමින් සිදුවන පරීක්ෂණවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද මෙම වංචාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස, අදාළ නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දී තිබෙනවා. විගණකාධිපති වාර්තාවෙන් ද මේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. තරාතිරම, දේශපාලන හිතවත්කම්, පෞද්ගලික හිතවත්කම් කිසිවක් නොසලකා වහාම වංචාකරුවන්ට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ 69කට වැඩි ජනතාවක් බලයට පත්කළේ දූෂණය, වංචාව පිටු දැක දියුණු රටක්, විනයගරුක රටක් මෙන්ම එක රටක්, එක නීතියක් යන කරුණු කෙරෙහි දැඩි විශ්වාසය තබමින්. එම නිසා වංචාවන්, දූෂණයන් සියල්ලට එරෙහිව දැඩිව තීන්දු තීරණ ගන්නා සේම ඒවා කාර්යක්ෂමව සිදුකළ යුතු බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු නිලධාරින්ට දැනුම් දි තිබෙනවා. වැඩ තහනමට සීමා නොවී විමර්ශන කණ්ඩායම්වලට පූර්ණ සහාය ලබාදෙමින්, රාජ්‍ය මුදල් විනාශ කළ සියලු චූදිතයන් නීතිය හමුවට පනවන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *