පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

(ලංකාපුවත් | කොළඹ) – නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියළු පාලම්පාරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම කණ්ඩායමට පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදා කණ්ඩායමක් පත් කරන බව ද ආණ්ඩුකාරවරිය කීවාය. කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලිම සදහා ඊයේ(25) පෙරවරුවේ කින්නියා රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“මෙවැනි සිදුවිම් යළි ඇති නොවෙන්න අපි කවුරුත් වගබලා ගන්න ඕනේ. මේක එක් එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න ඔනේ වෙලාවක් නෙමෙයි. යුද්ධයෙන් පස්සේ ලංකාවේ වැඩිම පාලම් ප්‍රමාණයක් හැදුවේ නැගෙනහිර පළාතේ. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්. ලංකාවේ දිගම පාලම තියෙන්නෙත් නැගෙනහිර පළාතේ. මේ ස්ථානයේ පාලම හදන්න ප්‍රමාද වූයේ කොවිඩ් වලට වැඩ නැවතුණු නිසා. විකල්ප මාර්ගයක් තිබුණත් ජනතාව එය භාවිතා කරන්න කැමති වුණේ නෑ. දැන් අපි මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරනවා. එම වාර්තාව අද පස්වරුව වනවිට ලැබෙනවා. එම වාර්තාවේ අඩංගු නිර්දේශ මත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. එහි වැරදිකරුවන් සිටියොත් ඒ අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි කිසිදා පසුබට වෙන්නේ නෑ. වගකිම් පැහැර හරින්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ. කෙසේවෙතත් දැනට මේ ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදු වෙනවා. ඊට අමතරව මෙම පාලමේ වැඩ කඩිනමින් අවසන් කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවා යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *