රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ඊයේ (21) එක් වූ ජනාධිපතිතුමා අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවය අමතමින් මේ බව ප‍්‍රකාශ කළේය.

රජ රට ජනතාව ජලය ඉල්ලා හැඬු වසර 60 ක කදුළු කථාව නිමා කරමින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ලංකාවේ විශාලතම ජලාශය වූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ කටයුතු වත්මන් රජය කි‍්‍රයාත්මක කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම ව්‍යාපෘතියත් සමග අද රජ රට ජනතාවගේ සිහින මල් ඵල ගැන්වෙමින් තිබෙන බව ද කියා සිටියේය.

ඉදිරි මහ කන්නයෙන් අනතුරුව යළිත් ජල ගැටලුවක් පිළිබඳ කථා කිරීමට එම ජනතාවට සිදු නොවනු ඇති බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

අද විශාල ගැටලුවක් බවට පත්ව ඇති කැළි කසළ ගැටලුව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කැළි කසළ කළමනාකරණය සහ වර්ගීකරණය පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක විය යුතු බවයි.

අද පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.

සමරු ඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව පොළොන්නරුව ඉරහඳකෙටූවැව මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය හඳුනාගෙන තිබෙන අතර රටේ කෘෂිකර්මාන්තය දියුණු කරමින් ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට උගත් පිරිසක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.

විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙන්ම ආදි ශිෂ්‍යයින් ඇගයීම යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහිණි සමරසිංහ යන මහත්ම මහත්මීන් වෙත සිහිවටන තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

බකමූණ, දියබෙදුම, නාමල්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මේ අතර ගිරිතලේවැව මහා විද්‍යාලයේ, පුලතිසි සූර්ය මණ්ඩප, රංග ශාලාව සහ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ද අද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ කළුවර පැළයක් රෝපනය කිරීම ද සිදු විය.

විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ආදි ශිෂ්‍යයින් ද ඇගයීමට ලක් වූ අතර උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් එච්.එම්.සී. බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ විභාගය සමත් වූ පමණින් ජීවිත සමත්විය නොහැකි අතර එදිනෙදා සමාජයේ පවතින අභියෝග තේරුම්ගෙන ජීවත්වීමට දරුවන් කටයුතු කළයුතු බවයි.

දරුවන්ගේ සුරක්ෂිතතාවය පිළිබද දෙමාපියන් මීට වඩා අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගියදා සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේදී සිදුවූ ජීවිත අහිමිවීම් මෙන්ම, ජීවිතයේ අභියෝගවලට මුහුණදිය නොහැකිව තරුණ දරුවන් සිය දිවි නසා ගැනීම් පිළිබඳ කෙරුණු වාර්තා ද කණගාටුවෙන් යුතුව සිහිපත් කළේය.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *