ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරනවා

(කොළඹ, ලංකාපුවත්) –මානව හිමිකම් සුරැකීමට කෙටි කාලයක් තුළ වත්මන් රජය ක්‍රියා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරන බව ඒ මහතා කියා සිටියේය. ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද පැවසීය,

“අපි මෙම සැසියට සහභාගි වෙලා ඉන්නේ එක්ව වැඩ කිරීමට උද්‍යෝගයෙන් මෙන්ම රට සහ මුළු මහත් ලෝකයේම මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටයි. අපි සෑම පාර්ශ්වයකම අදහස්වලට සවන් දෙන්න සූදානමින් සිටිනවා. දෝෂාරෝපණවලටත් සවන් දීමට සූදානම්. ඉන් අපිට අපේ ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපේ රට සංහිඳියාව සුරැකීම අතින් ස්ථාවර සෞභාග්‍යවත් රටක් ලෙස සෑම පුද්ගලයෙකුගේම අයිතිය ආරක්‍ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

සෑම රටක්ම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. එසේ නොවන රටවල් නැහැ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්‍ෂා කිරීමේ අපගේ ක්‍රියාවලිය අපි දිගටම කරගෙන යනවා. ඒ වගේම පුද්ගලයින් දිරිමත කරන්නත් අපි පියවර අරං තියෙන්නේ ජනතාව තුළ ධනාත්මක සිතුවිලි ඇති කරන්නයි. ධනාත්මක වෙනස්කම් කිරීමෙන් රටේ සෑම පුරවැසියෙකුටම වාසි රැසක් හා යහපතක් වනවා. ඒ ආකාරයට එම වෙනස්කම් සිදු කරන්නේ පුළුල් දැක්මක් සහ අධිෂ්ඨානයකින් යුතුවයි.

අවුරුදු දෙකයි මාස 10ක් වැනි කෙටි කාලයක් තුළයි අපි මේ සෑම කටයුත්තක්ම කරලා තියෙන්නේ. රටේ ක්‍රියාත්මක වන සංහිඳියා ක්‍රියාවලිය රටේ සෑම කෙනෙකු සඳහාමයි. සෑම පුරවැසියෙකුටම සැමවිටම සමානව අපි සලකනවා. මෙම ජාතික ආණ්ඩුවට ලැබුණු ආර්ථිකය ණය බරත් එක්කයි හිමිවුණේ. අපි එය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා.

පසුගිය සතියේ ඉදිරිපත් කළ අයවැය සකස් කර තිබෙන්නේ තිරසර සංවර්ධන ඉලක්කයන් හා ප්‍රතිපත්ති අනුගමනය කරමින්. ඒක නම් කරලා තියෙන්නේ නීලහරිත අයවැයක් ලෙසයි. ඉන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකා ව්‍යවසායකයින් අවදි කරවීමයි. එයින් ශ්‍රී ලංකාව වෙළෙඳ මධ්‍යස්ථානයක් කිරීම අපගේ බලාපොරොත්තුවයි.

මෙම ධනාත්මක වෙනස්කම් කිරීමට ඇති අපගේ දැක්ම දීර්ඝ කාලීනයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *