දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට පියවර ගන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හ සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තෘණ වගාවල කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 40කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ.

ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.

රටේ විවිධ ප්‍රදේශවලට ගැලපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් සියයට 85ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්යවත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණ.

සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටලු විසැඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ගොවියාට බරක් නොකළ යුතු බව අවධාරණය කළේය.

පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශනයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

කිරි නිෂ්පාදනය වර්ධනය අරමුණු කොට ගෙන වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසීය.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම පිළිබඳ ද සාකච්ඡා කෙරිණ. බිත්තර, කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2020 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 16ක විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කරන බව පෞද්ගලික අංශයේ ආයෝජකයෝ කීහ.

රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *