ළමා අපචාර නඩු විභාග කිරිමට නිශ්චිත දිනයක්

(කොළඹ, ලංකාපුවත්) – මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාර වලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කළ සාකාච්ඡාවලින් පසු එකඟතාවයකට පැමිණි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

එයට අමතරව අදාළ දිනයේදී ළමයින්ට සම්බන්ධ නඩු වලට ප්‍රමුඛතාව ලබාදීමටත් එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අදාළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අංක 449 දරන චක්රමලේඛය පසුගිය ජූනි 28 වැනිදා සියළු මහාධිකරණ විනිසුරුවරුන් වෙත යවා ඇති බවද සභාපතිවරයා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.

මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය) දෘශ්යට පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සභාපතිවරයා ‍පැවසීය. ඊට අමතරව සජීවී දුරස්ථ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන පෙර සඳහන් කළ ස්ථාන වලම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා විසින් වැඩිදුරටත් කාරක සභාවට දැනුම් දෙන ලදී.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය 2019 සම්මත වීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාල අමාත්‍යංශ 10 පදනම් කරගෙන ආරම්භ කර ඇති බව සභාපතිවරයා මෙහිදී පැවසීය. ළමා ආරක්ෂණයට අදාල ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තොබර් මාසයේදී ජනගත කිරීම සඳහා සියල්ල සූදානම් බවද සභාපතිවරයා සඳහන් කළේය.

දරුවන් අපචාරයට ලක් කිරීම, ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු මෙරට දරුවන්ගේ සුරක්ෂිත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එරෙහිව පවතින නීති ශක්තිමත් කිරීමටත්, නව නීති ගෙන ඒමටත්, ළමා අපචාර සිදුවීම වැලැක්වීම පිණිස නිසි වැඩපිළිවෙලක් ආරම්භ කිරිමටත් සිය සංසදයේ නායකත්වය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

වයස අවුරුදු 18ට අඩු කිසිදු ගැහැණු හෝ පිරිමි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම, ළමා අපචාර සම්බන්ධව නීති රීති ක්‍රියාත්මක කිරිම මෙන්ම ළමා අපචාර වැලැක්වීම පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩි දියුණු කිරිම බිම් මට්ටමින් සිදු කිරිම සහ ළමා ආරක්ෂණයට අදාළ සමහර ඉතා පැරණි නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම මෙන්ම ඊට අදාළ සියළුම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමද අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.

ළමා අපචාර සිදුවීම වැලැක්වීම, එම ක්‍රියාවලිය නියාමනය කිරීම සහ ළමා අපචාර වැලැක්වීමේ දිගකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම පිණිස දෙමාපිය දැනුවත්භාවය ඇති කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා වෙනම සමාජසේවා දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ මෙහිදී අවශ්‍යතාවය ද සාකච්ඡා කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *