සෙරමික් නිපයුම්වලින් ශ්‍රී ලංකාව 80% ස්වයංපෝෂිත කරවීමේ ළකුණු

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ විශාලතම අති නවීන සනීපාරක්ෂක උපකරණ සහ සෙරමික් (පිඟන් භාණ්ඩ) වෙළඳාම් සහ ඛෙදා හැරීම් සමාගමක් වන පුවක්අරඹ සමාගම් සමූහයේ (PGC) නවතම සාමාජිකයා වන TPS Ceramics Industries (Pvt) Ltd, 2021 දෙසැම්බර් 16 වන දින බදුරලියේදී රුපියල් බිලියන හතරක (කෝටි 400ක​) පමණ සුවිසල් ආයෝජනයක් සමග​​ අති නවීනතම සෙරමික් නිෂ්පාදන කම්හලකට මුල්ගල තැබීමත් සමඟම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් පෙරලිණි.

කළුතර දිස්ත්‍රික්කයේ මනරම් කොනක පිහිටි පුවක්අරඹ සමාගම් සමූහයේ (PGC) කර්මාන්තශාලා සංකීර්ණයේ පිහිටා ඇති TPS Ceramics Industries කම්හල, දේශීය සෙරමික් නිෂ්පාදනය ඇරඹීමත් සමඟ, අනෙකුත් දේශීය නිෂ්පාදකයින් සමඟ අත්වැල් බැඳ, ආනයන ආදේශනය දිරිගැන්වීමේ රජයේ දැක්මට අනුකූලව ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු පරිභෝජනයෙන් දැනට 40% පවතින දේශීය සෙරමික් නිෂ්පාදනය, නුදුරු අනාගතයේ දී 75% සිට 80% දක්වා දෙගුණ කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් දැක්වීමට අපේක්ෂා කරයි.

දේශීය සෙරමික් නිෂ්පාදකයින් නිෂ්පාදනයෙන් 80% ස්වයංපෝෂිත බවට සහතික වීමත් සමඟ ආනයන සීමා කිරීම සහ ආනයන ආදේශ කිරීමේ ප්‍රතිපත්තිය රජය අඛණ්ඩව කරගෙන යන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

“රුපියල අවප්‍රමාණය වීමත් විදේශ සංචිත අඩුවීමත් නිසා උළු හා පිඟන් භාණ්ඩ පමණක් නොව බොහෝ ව්‍යාපාරවලට ආනයන සීමා පැනවීමත් සමඟ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. ඒ නිසා ආනයන ආදේශන සහ දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ ප්‍රතිපත්තියෙන් රජය ආපසු හැරෙනු ඇතැයි,” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා බදුරලිය සෙරමික් නිෂ්පාදන කම්හලකට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

Covid-19 ගෝලීය වසංගතය හේතුවෙන්, ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත අඩුවන ලකුණු පෙන්නුම් කළ බැවින්, 2020 මාර්තු මස රජය විසින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවූ අතර, එය 2020 අප්‍රේල් 1 වන දින ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් සියලුම ආනයන ද්‍රව්‍ය ඇතුළත් කිරීමට දීර්ඝ කරන ලදී. මෙම වසරේ පෙබරවාරි 2 වැනි දින රජය විසින්, විදේශීය සැපයුම්කරු විසින් සපයනු ලබන අවම දින 180 ක ණය පහසුකම මත තෝරාගත් උළු සහ පිඟන් භාණ්ඩ ආනයනය සීමා කිරීම් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළද, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව 1969 අංක 1 ආනයන හා අපනයන පාලන පනතට අනුව 2021 පෙබරවාරි 02 වැනි දින අංක 2213/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 3 සහ 4 රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රේගුවට සහ සියලුම වාණිජ බැංකුවලට නව මෙහෙයුම් උපදෙස් නිකුත් කරමින් පෙබරවාරි 3 වැනි දින මෙම ප්‍රතිපත්තිය වෙනස් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2019 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වූ පිඟන් භාණ්ඩ අපනයනය 2020 දී ඩොලර් මිලියන 24 දක්වා පහත වැටුණි.

ශ්‍රී ලංකාවේ විශාලතම අති නවීන සෙරමික් නිෂ්පාදන කම්හලක් බවට පත්වීමට සූදානමින් සිටින TPS සෙරමික් ඉන්ඩස්ට්‍රීස් හි බදුරලිය කම්හල 2022 අවසන් වන විට සෙරමික් සහ සනීපාරක්ෂක නිෂ්පාදන පෙළ තුනක නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව ඉදිරි වසරවලදී, නිෂ්පාදන පෙළ 12 දක්වා ඉහළ නැංවීමටත් සූදානමින් සිටී. මේ සඳහා වන ආයෝජනය රුපියල් බිලියන හතරක (කෝටි 400ක​) පමණ වන අතර මෙමගින් ඍජූ රැකියා අවස්ථා 400 පමණ ජනනය කෙරේ.

බදුරලිය කර්මාන්තශාලාවේ ප්‍රධාන අරමුණු වන්නේ රටේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබා දීම, ආනයන ආදේශන හරහා ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සහ විදේශ සංචිත මත ඇති අධික පීඩනය සමනය කිරීම සහ රැකියා උත්පාදනයයි. බදුරලිය, හැඩිගල්ල පාරේ, හොරගොඩ වත්තේ පිහිටි TPS සෙරමික් ඉන්ඩස්ට්‍රීස්හි අති නවීන කර්මාන්තශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර මහතා සහ සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

පුවක්අරඹ සමාගම් සමූහයේ (PGC) නිර්මාතෘ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය ලක්සිරි පීරිස් මහතා රැස්ව සිටි පිරිස අමතමින් මෙසේ පැවසීය.

“1985 නොවැම්බර් 7 වැනි දින කුඩා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ලෙස සේවකයන් දෙදෙනකුගෙන් ආරම්භ වූ පුවක්අරඹ ඒජන්සීස් මේ වන විට සේවකයන් 500කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර අද වන විට 5,012කට අධික අලෙවි නියෝජිත ජාලයක් ඇත. වර්තමානයේ මෙම සමූහය පුවක්අරඹ ඒජන්සීස්, ටීපීඑස් ඉන්ටර්නැෂනල්, පීජීසී මාර්කටින්, මෙට්‍රෝ ඔටෝ මාර්ට්, සිල්ක්වේ කාගෝ, එලිගන්ට් හෝම්ස් සහ පීඒ මැනුෆැක්චරස් වැනි බොහෝ අනුබද්ධ සමාගම් දක්වා වර්ධනය වී ඇත. 2016 වසරේදි, ශ්‍රී ලංකාවේ විශාලතම ගබඩා ධාරිතාව ස්ථාපිත කරමින් ඉතිහාසය නිර්මාණය කළ අපි අද නැවතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදන මෙහෙයුම් සඳහා අඩිතාලම දමමින් සිටිමු.”

පුවක්අරඹ සමූහ ව්‍යාපාරයේ බදුරලිය නව කර්මාන්තශාලා සංකීර්ණය 2021 අගෝස්තු 30 වන දින ආචාර්ය ලක්සිරි පීරිස් මහතා විසින් විවෘත කරන ලද අතර, එය සීලිං ග්‍රිඩ්, PVC සීලිං පැනල්, GI ටියුබ්, වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බහුලව භාවිතා වන 100% දේශීයව නිපැයු භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කිරීම ආරම්භ කරන ලදී.
ආනයන සීමා කිරීම් වලට පෙර, PGC විසින් මසකට බහලුම් (කන්ටේනර්) 475 – 500 ක ආනයන ධාරිතාවක්, 85 ට වැඩි වාහන ඇණියක් සහ වර්ග අඩි 356,000 ක ඒකාබද්ධ ගබඩා ධාරිතාවක් හසුරුවන ලදී.

“පුවක්අරඹ සමාගම් සමූහයේ (PGC) අනුබද්ධිත ආයතනයක් ලෙස – TPS Ceramics Industries අපගේ පාරිභෝගිකයන් සඳහා නවතම, හොඳම තත්ත්වයේ සෙරමික් සහ සනීපාරක්ෂක ඇඳුම් නිෂ්පාදන පිරිනැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම සඳහා නිෂ්පාදන, සැපයුම් සහ ගබඩා සඳහා අපි දිගටම ආයෝජනය කරන්නෙමු. ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණයක් වන හොරණට අමතරව, PGS විසින් ගල්කිස්ස, කටුබැද්ද, හබරණ සහ සුවාරපොල (පිළියන්දල) යන ප්‍රදේශවල නවීනතම ගබඩාවලින් සමන්විත වන අතර එහි 30 වැනි සංවත්සරයට සමගාමීව සමූහය හබරණ ප්‍රාදේශීය ගබඩා සංකීර්ණයට තවත් ගබඩා දෙකක් එක් කරන ලදී.”

පුවක්අරඹ සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාමයක් බවට පත් කිරීමට අතහිත දුන් සියලුම ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට ආචාර්ය ලක්සිරි පීරිස් මැතිතුමා තම නොමසුරු ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකාවේ විශාලතම ගොඩනැගිලි ද්‍රව්‍ය භාණ්ඩ වෙළඳාම් සහ ඛෙදා හැරීම් සමාගමක් වන පුවක්අරඹ සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 අතරට සම්ප්‍රාප්ත වීමේ ස්ථාවර මාවතක ගමන් කරයි.

PGC හි දැක්ම වන්නේ එහි පාරිභෝගිකයින්ගේ සහ එහි සැපයුම්කරුවන්ගේ හොඳම ව්‍යාපාරික හවුල්කරු වීම වන අතර මෙහෙවර වන්නේ තම පාරිභෝගිකයන් සහ එහි සැපයුම්කරුවන් සමඟ සාර්ථක සබඳතාවක් ගොඩනඟා ගනිමින් ඔවුන්ගේ පාරිභෝගික අවශ්‍යතා සහ මිල, සේවා සහ තේරීම පිළිබඳ අපේක්ෂාවන් සපුරාලීමට හෝ ඉක්මවා යාමට නිරන්තරයෙන් උත්සාහ කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *