මේ වසරේ ගෙවීමට ඇති ඩොලර් කෝටි 6,900ක ණය ගෙවන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා – මුදල් ඇමැති

(ලංකාපුවත් | කොළඹ) – මේ වර්ෂයේ දී ශ්‍රී ලංකාව රුපියල් කෝටි 138,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක) ණය මුදලක් ගෙවීමට තිබෙන නමුත් අදාළ ණය මුදල නිසිපරිදි පියවීම සඳහා වත්මන් ආණ්ඩුවට හැකියාව තිබෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය මුදල නිසිපරිදි කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඉදිරියටත් ණයවාරික සහ පොලිය නියමිත පරිදි ගෙවීමට වත්මන් ආණ්ඩුව සූදානම් බවද මෙලෙස ණය මුදල් පියවන අතරතුර රටේ ජනතාව වෙනුවෙන් දෙන සහන සහ සංවර්ධන කටයුතු කිසිවිටෙකත් අඩාළ නොකරන බවද ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (03) රාත්‍රියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන විට චීනය, ජපානය සහ ඉන්දියාවට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බවත් ඒ ඒ රටවලට, ජාත්‍යන්තර සංවිධානවලට ගෙවීමට ඇති ණය මුදල පියවීම සඳහා කෙසේ හෝ රටේ ආදායම ඉහළ නැංවීම සඳහා පියවර ගතයුතු බවත්ය. රටේ ජනතාව සමඟ එක්ව මේ කාර්යය කරන බව පෙන්වාදුන් ඒ මහතා ඉතා ඉක්මණින්ම සංචාරක ව්‍යාපාරයෙන් සහ රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ මඟින් ආදායම් ඉහළ නංවා ගතහැකි බවද පෙන්වා දුන්නේය. විශ්වාසය පළුඳුවන ආකාරයෙන් ශ්‍රී ලංකා රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා මේ තත්ත්වය තුළ ණය පියවීම සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නැතැයි ද කෙසේ හෝ රුපියල ස්ථාවර මට්ටමකට ගෙනඒම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය. මේ තත්ත්වය තුළ රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගන්නා නමුත් එලෙස ආදායම් වැඩි කර ගන්නේ බදු ඉහළ නැංවීමෙන් නොවන බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව පැමිණි විගස බදු පහළ දැමූ බවද සිහිපත් කළේය.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විදේශ විනිමය සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අරමුදල වෙත යාමේ තීරණයකට පැමිණි නොමැති නමුත් ඔවුන් සමඟ සාකච්ඡා කරන බවද ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ අමෙරිකාව වැනි රටවල් සමඟ ද සාකච්ඡා කරන බව පැවසීය. ඊට අමතරව වාර්ෂිකව විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් 230,000 ක් වන පිරිසෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව පවතින බවද පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 31 වනවිට ශ්‍රී ලාංකිකයන් 220,000 ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට පසුබෑමට ලක්ව තිබෙන සංචාරක කර්මාන්තය යළි ප්‍රවර්ධනය කරමින් වාර්ෂිකව ලක්ෂ 25ක පමණ විදෙස් සංචාරකයන් පිරිසක් රටට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව මේ වනවිට වැඩසටහන් ක්‍රියාත්මක බව පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා ඒ අනුව දිනකට සංචාරකයන් 6,850 දෙනකු ගෙන්වා ගැනීම ඉලක්කය වී තිබෙන බවද එම ඉලක්කයට යා හැකි නම් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව තිබෙන බවද පෙන්වා දුන්නේය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *