රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට මහජන ආරක්ෂක ඇමති, පොලිස්පතිට දුන් උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – කැළණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට ඊයේ(01) රාත්‍රියේ පිරිසක් ඇතුළු වී වෛද්‍ය සිසුන්ට පහරදීමක් කළ බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පති වෙත උපදෙස් ලබා දෙයි.

ඒ අනුව බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළණිය විසින් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් හා එහි රියදුරු, සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රාගම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මෙම සිද්ධියට අදාල සියළු සැකකරුවන් සොයා පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන අතර ඊට අදාල පුද්ගල සාක්ෂි හා විද්‍යාත්මක / තාක්ෂණික සාක්ෂි ඔස්සේද පරීක්ෂණ කරනු ලැබේ.

මේ සිද්ධියට සම්බන්ධ අයවළුන් හට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් තවදුරටත් පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *