අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්න

(කොළඹ, ලංකාපුවත්) – අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට ඊයේ (02) උපදෙස් දුන්නේය. පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) දහවල් පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් මෙසේ උපදෙස් දෙනු ලැබිණි.

ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යෑම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව කිරීමටමෙහිදී තීරණය කෙරිණි.

ලබන 5 දා සිට විදුලි කප්පාදුවක් නොකරන බව නිලධාරීහු මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

රට පුරා සියලු ඉන්ධන හල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ. එබැවින් අනිසි බියකින් ඉන්ධන එක් රැස් කිරීමෙන් වළකින ලෙස ද නිලධාරීහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති කංචන විජේසේකර, මහ බැංකු අධිපති, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර රට තුළ පවතින විදුලි අර්බුද මඟ හරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගීතා කොමිසම සමඟ පැවති සකච්ඡාවකදී පෙරේදා (01) තහවුරු කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *