පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ පූර්ණ නඩු විභාගය මැයි 12 ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකයට බන්ධනාගාරගතව සිටින ත්‍රස්ත සැකකරුවන් විසිපස් දෙනාට එරෙහි නඩුවේ ‘පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය‘ මැයි මස 12 දින ආරම්භ කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (03) දින නියම කළේය.

පූර්ව නඩු විභාගය සඳහා නඩුවට අදාළ සියලු පාර්ශ්වයන් කැඳවන ලෙස ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව කැඳවූ අවස්ථාවේ එසේ දින නියම කළ අතර, සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රථමව කරන ‘පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය‘ සඳහා විත්තිකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරිවරුන්ට නියම කළේය.

එම පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නීතිඥවරු මෙන්ම මේ නඩුවට අදාළ විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ නියෝජිතයකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ හෝ ඔහුගේ නියෝජිතයකු පෙනී සිටිය යුතු බව දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නියෝග කෙරිණි.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවීය.

විත්තිකරුවන් ඉල්ලා සිටි පරිදි මේ නඩුවට අදාළ චෝදනා පත්‍රය දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තන කළ පිටපත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙන බවත් ඒවා විත්තිකරුවන්ට භාර දිය හැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළාය.

අධිකරණ ශාලාව තුළට රැගෙන විත් තිබූ එම ලේඛන ගොනු පරීක්ෂා කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා එම පරිවර්තනවල ලේඛන විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන හෙයින් ඒවා විත්තිකරුවන්ට බන්ධනාගාරවලට රැගෙන යෑම ප්‍රායෝගිකව අපහසු බව සඳහන් කළේය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගයද සහිතව ඒවා බන්ධනාගාර වෙත රැගෙන යෑමට නියෝග කළ විනිසුරුවරයා ඒවා බන්ධනාගාරයේ ආරක්ෂිතව තබන ලෙසත් විත්තිකරුවන්ට පරිශීලනය කිරීම සඳහා ඉල්ලා සිටින අවස්ථාවල ඒවා ඔවුන් වෙත දීමට පියවර ගන්නා ලෙසත් දන්වා සිටියේය.

නඩුවේ පළමු වැනි විත්තිකාර නවුෆර් මවුලවි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් කිහිප දෙනකු වෙනුවෙන් ද පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ට ඇප ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත් අධිකරණය හමුවේ ලිඛිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩුව නැවත මැයි මස 12 දා කැඳවීමට ද නියම කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *