යුගදනවි පෙත්සම් පෙත්සම් 05ක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් 5 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවත් අගවිනිසුරුවරයා නිවේදනය කළේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටියේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *