දිවයින පුරා ගෙවතු වගා ලක්ෂ 22ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ගෙවතු වගා ලක්ෂ 22ක් ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය – 2022 වැඩ සටහන සඳහා තෝරාගත් සමෘද්ධි ලාභී පවුල් සහ අඩු ආදායම් ලාභි පවුල් 12912 ක් පැල තවාන් කරුවන් ලෙස දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14021 ම ආවරණය වන පරිදි පැල 88,000,000ක් ලබා දීමට සූදානම් බවත් ඒ තුළින් දිවයින පුරා ගෙවතු වගා ලක්ෂ 22 ක් ආරම්භ කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රථිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැන්වීම සඳහා දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් තිරසාර හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මැදවච්චිය නගරයේ පැවති උත්සව අවස්ථාවකට අද(15) උදෑසන එක් වෙමින් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

“යල් කන්නය ඉලක්ක කර ගනිම්න් තමයි මේ හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය – 2022 වැඩ සටහන සඳහා පැල ලබා දීම අපි සිදු කරන්නේ. සමෘද්ධි අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව එක්ව තමයි මෙය ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා රුපියල් මිලයන 401 ක් වැය කිරීමට නියමිතය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපැයුම් මධ්‍යෂ්තනයෙන් අපි මේ සඳහා තවාන් බීජ ලබා ගැනීම සිදු කරනවා. ඒ අනුව දිවයිනේ සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි හදුනාගනු ලබන ගෙවතු ලාභීන් සඳහා වම් බටු, මිරිස, තක්කාලි, මාළු මිරිස් හෝ වැරණිය මිරිස් යන භෝග වලින් පැල 10 බැගින් පැල 40 ක් එක් ගෙවත්තක් සඳහා ලබා දීමට නියමිතයි. “

එළඹෙන අප්‍රේල් මස පලමු සතිය තුළ මෙය ආරම්භ කිරීමට ද නියමිත බව අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *