වෘත්තීය අධ්‍යාපනයේ ක්ෂේත්‍ර පුහුණුවට වැඩි ඉඩක්

(කොළඹ, ලංකාපුවත්) – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ වෘත්තීය පුහුණුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ක්ෂේත්‍ර පුහුණුව වැඩි වශයෙන් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

රාජ්‍ය ඇමතිවරිය මේ බව කියා සිටියේ ඊයේ(14) Leema සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ සිදු කෙරිණු අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සතු පහළ යාගොඩ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ දැව තාක්ෂණ ශිල්පී පාඨමාලාව දියුණු තාක්ෂණය සහිතව වැඩි දියුණු කර, එහි අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් යාවත්කාලීන පුහුණුවක් සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමේ අරමුණින් දැව නිමැවුම් භාවිත කර ගෘහ නිර්මාණ සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් ලෙස ඉහළ කීර්ති නාමයක් දිනාගත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Leema සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කළේය.

ඒ අනුව ‘දැව තාක්ෂණ ශිල්පී (ගෘහ භාණ්ඩ)’ පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සියලු දෙනා ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුවෙන් පසුව Leema සමාගමේ ස්ථීර රැකියාලාභීන් බවට පත්වේ.

මෙහි දී Leema සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා විසින් රචිත ‘ලී වැඩ ප්‍රායෝගික පාඨමාලා’ නම් වූ පොත එළිදැක්වූ අතර එය රාජ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා, උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, Leema සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා, කලමනාකරණ අධ්‍යක්ෂක ශමික විජේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *