ශ්‍රී ලංකාව තුළ ගෝලීය ඉන්ටර්නෙට් සේවා පරිශීලකයන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමට SafeWebLK ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබාදීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇතිකර ගැනීම ඉලක්කකරගත් Safe Web LK වැඩසටහන මාර්තු 16 වනදා කොළඹදී අරඹනු ලැබීය.

මෙරට මිලියන 11කට අධික ජන සංඛ්‍යාවක් ඉන්ටනෙට් භාවිත කරන අතර ඉන් බහුතරයක් ගූගල්, ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක් වැනි ගෝලීය සේවා නිතර පරිහරණය කරයි.

මෙරටින් මතුවන දුස් තොරතුරු සහ වෛරී ප්‍රකාශ මේ තාක්ෂණවේදිකා හරහා පැතිර යාම හැකිතාක් අවම කිරීමටත්, මෙරට පරිශීලකයන් ඇතැමෙක් සයිබර් හිංසනවලට ලක්වීම අවම කරගැනීමටත් වේදිකා මට්ටමින් දැනට ක්‍රියාත්මක ස්වයං නියාමන රැකවරණ වඩාත් තියුණු කිරීම SafeWebLK වැඩසටහනේ අරමුණයි.

ගෝලීය වෙබ් අවකාශයන් තුළ ශ්‍රී ලාංකික පරිශීලකයන් සිදුකරන පෞද්ගලික සහ පොදු සන්නිවේදන සමහරකින් පුද්ගලයන්ට හෝ සමස්ත සමාජයට සිදුවිය හැකි හානි වලක්වා ගැනීමට වේදිකා මට්ටමින් ප්‍රතිචාර දැක්වීම වඩාත් ප්‍රශස්ත කිරීමට ගෝලීය වේදිකාවල ලාංකික අන්තර්ගතය විමර්ශනයට නිශ්චිත ස්වයං නියාමන රාමුවක් බිහිකර ගැනීමට උත්සාහ කෙරෙයි.

දැනටමත් යුරෝපා සංගමයේ රටවල් 27 මෙන්ම ඔස්ට්රේලියාවද මෙබඳු ස්වයං නියාමන චර්යා පද්ධති(industry codes of practice)ක්‍රියාත්මක කරන අතර, නවසීලන්තයද එබන්දක් සූදානම් කරමින් සිටී.

SafeWebLK ආසියාවේ රටක එවැනි ස්වයං නියාමන චර්යා පද්ධතියක් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රථම අවස්ථාවයි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී SafeWebLKආරම්භ කරනලදී.

එහි දී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා මෙසේ කීවේය.

“මෙම වැඩසටහනට රජයේ පාර්ශවයෙන් අපි උපරිම සහයෝගය දෙමින් කැපවී සිටිනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල අත්‍යාවශ්‍ය වනවා. එමඅයිතිය නැතිනම් අපිට ජීවත්වන්නට සිදුවන්නේ වහලුන් ලෙසයි.උපරිම ලෙසින්අදහස් ප්‍රකාශ කිරීමටත්, විවේචනයට මෙන්ම උපහාසයටත් ඉඩදිය යුතු බවඅපි විශ්වාස කරනවා. එවැනි ප්‍රකාශන සීමා කරන්න කිසිම අදහසක් නැහැ. නමුත් සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් වන සංවිධානාත්මක වැරදි තොරතුරු සම්බන්ධයෙන් අප යමක් කළ යුතු වනවා. එවැනි අසත්‍ය ප්‍රචාරවලට එරෙහි වීමට සහ ඊට සම්බන්ධ අය වගවන යම් යාන්ත්‍රණයක් අවශ්‍ය වනවා. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඇතුළු ඉන්‍ටර්නෙට් භාවිතයන් තුළ වගකීම් සහගත සන්නිවේදනයක් ප්‍රවර්ධනය කිරීමට එය භාවිතාකරන පුරවැසියන් ම මූලිකත්වය ගැනීම වඩාත් සුදුසුයි.”

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

“ස්වයං නියාමන ක්‍රියාවලිය රජය ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පුද්ගලිකවත් මම සෑම අවස්ථාවක දීම ප්‍රවර්ධනය කරන යාන්ත්‍රණයක්. සාවද්‍ය තොරතුරු, ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ, සයිබර් හිරිහැර කිරීම් නිසා සන්නිවේදනයේ ආධිපත්‍යය දරන මහා මාධ්‍ය පවා පීඩාවට පත්ව සිටින කාලයක වුවත්අප තවමත්පිළිගන්නවා රාජ්යවාරණයට වඩා ස්වයං නියාමනය වඩාත්මයෝග්යබව. SafeWebLK කරන මේ මුල පිරීම දේශීය පරිශීලකයන් සහ ජාත්‍යන්තර තාක්ෂණික සමාගම් අතර නියාමන පාලමක් බවට පත්වේවි. එමගින් හොඳ සබඳතාවක් ගොඩනැගේවි. එය වටිනා කාලීන අවශ්‍යතාවක් ද වනවා.”

ජාතික වශයෙන් වැදගත් මේවැඩසටහන සඳහා නායකත්වය සපයන්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කටයුතු කරන පර්යේෂණ සමාගමක්වන Factum ආයතනයයි.

SafeWebLKහි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය රංග කලංසූරිය පවසන්නේ “අප ආරම්භ කළ මෙය ආසියාවේ මේ ආකාරයේ ප්‍රථමවැඩසටහන වනවා. මේ සඳහා සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. ඉන්ටර්නෙට් සේවා ලබා දෙන ජාත්‍යන්තර සමාගම් සහ රජය අප සමඟ මේ වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමගැනඉතා සතුටු වෙනවා” යනුවෙනි.

ගෝලීය තාක්ෂණික සේවා සමාගම් ඔවුන්ගේ ආසියානු කලාපීය සන්ධානය වන Asian Internet Coalition (AIC) හරහා මෙම ක්‍රියාවලියට සම්බන්ධ වනුඇත. සන්ධානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජෙෆ්පේන් මහතා දුරස්ථ සන්නිවේදන මාර්ගයෙන් කොළඹ ආරම්භක අවස්ථාවට සහභාගීවී සභාව ඇමතීය.

ජෙෆ් පේන් කියාසිටියේ“ස්වයං නියාමනයක් ගොඩනැගීම සඳහා ඉන්ටර්නෙට් තාක්ෂණික හවුල්කරුවන් සමඟ AIC එක්ව කටයුතු කිරීමට කැප වී සිටින අතර එමගින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙට් පරිශීලකයන් වඩාත් සුරක්ෂිත කිරීම සඳහා වඩාත් ප්‍රශස්තස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන එකඟවීමට අප සහයෝගය පළ කරනවා” යනුවෙනි.

මේ වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය, සිවිල් සමාජ කණ්ඩායම්, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්, පර්යේෂණ ආයතන ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහභාගී වන අතර ඉදිරියේ දී මහජන අදහස් සහ යෝජනා විමසීමේ ක්‍රියාදාමයක්දියත් කිරීමට නියමිතය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *