වසරකට පසු ගෙවුණු පැය 24ට කොවිඩ් මරණ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ආසාදිත කිසිදු මරණයක් පසුගිය පැය 24 තුළ දී (04) වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

පසුගිය සති දෙක තුළම කොවිඩ් මරණ වාර්තා වීම පහක් හෝ ඊට අඩුවෙන් සිදු වූ බවත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් මරණ අවම වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිනමිණ’ට පැවසුවේය.

අවසාන වශයෙන් කොවිඩ් මරණ වාර්තා වීම බින්වදුක් වූයේ පසුගිය වසරේ අප්‍රේල් 13 වැනිදා බවත් වසරකට ආසන්න කාලයකදී නැවත කොවිඩ් මරණ වාර්තා වීම බින්දුවට බැසීම පෙරේදා (04) සිදු වූ බවත් හෙතෙම පැවසීය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට එකසිය ගණන් වීම මරණ අඩු වීමට හේතුවක් යැයි ද ආසාදිතයන් වාර්තා වීම අවම වීමට සාපේක්ෂව මරණ අවම වීම සිදුවන්නේ යැයි ද ඔහු කීය.

කොවිඩ් ආසාදිතයන් ඊයේ (05) දින 113ක් වාර්තා වී ඇති අතර එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ ආසාදිතයන් වාර්තා වීම අවම වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *